Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වසර තුළ සැලකිය යුතු උච්චාවචනයක් පෙන්නුම් කරමින් සිටියි. ජනවාරි මාසයේ මුල් දින කිහිපය තුළ විශාල පහළ වැටීමකට ලක්වූ කොටස් වෙළෙඳ පොළ පසුගිය සතියේ අගභාගය වනවිට, නැවත වතාවක් ඉහළයාමේ ලක්ෂණ පෙන්නුම් කරන ලදී. කොටස් වෙළෙඳ පොළ පහළ යෑමේදී, ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර පළ වන අතර, විවිධ පාර්ශ්ව වෙත චෝදනාවන්ද එල්ල වෙමින් පවතී. කොටස් වෙළෙඳ පොළේ පහළයාම පිළිබඳව ඇතැම් පාර්ශ්ව පෙන්නුම් කිරීමට උත්සාහ කරනු ලබන්නේ එය ශ්‍රී ලංකාව තුළ පමණක් සිදුවී ඇති දෙයක් ලෙසය. සමහර පාර්ශ්ව අපගේ කොටස් වෙළෙඳ පොළෙහි හැසිරීම අනෙකුත් රටවල කොටස් වෙළෙඳ පොළ හා සන්සන්දනය කිරීම හිතාමතාම බැහැර කර ඇත. මේ වසර තුළ ලෝකයේ සියලුම කොටස් වෙළෙඳ පොළවල් සමස්තයක් ලෙස 9.2% ක් පහළ වැටී ඇත. කොළඹ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම 8% කි. ඒ අනුව, බලන විට ලෝකයේ අනෙකුත් කොටස් වෙළෙඳ පොළවලට සාපේක්ෂව අපගේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීම යම්කිසි ආකාරයක ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් කරන බව පැවසිය හැකිය.
මෙසේ කොටස් වෙළෙඳ පොළ උච්චාවචනය වීමේදී බොහෝදෙනා සොයා බලන්නේ, කොටස් වෙළෙඳ පොළක් මෙසේ ඉහළ පහළ යන්නේ ඇයිද යන්න පිළිබඳවය. අපි මේ සතියේ ලිපියෙන් කොටස් වෙළෙඳ පොළක් ඉහළ පහළ යෑමට බලපාන කාරණා කිහිපයක් සාකච්ඡාවට ලක්කරමු.
කොටස් වෙළෙඳ පොළ උච්චාවචනයට බලපාන දේශීය කරණා
කොටස් වෙළෙඳ පොළක හැසිරීමට බලපාන කාරණා ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය කාරණා ලෙස හැඳින්විය හැකිය. දේශීය කාරණා අතර, ප්‍රධාන වන්නේ රටේ ආර්ථික තත්ත්වය, රටේ පවතින දේශපාලන තත්ත්වය, කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම්වල ක්‍රියාකාරීත්වය, ආයෝජකයන්ගේ හැසිරීම හා කොටස් වෙළෙඳ පොළට බලපාන නීතිරීති යන කාරණාය.
රටේ ආර්ථික තත්ත්වය
ඕනෑම රටක ආර්ථික තත්ත්වය කොටස් වෙළෙඳ පොළක හැසිරීමට බලපෑමක් එල්ල කරනු ලබයි. ශ්‍රී ලංකාවටද එය පොදුය. ආර්ථිකය හොඳින් ක්‍රියාකාරී වනවිට කොටස් වෙළෙඳ පොළක ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර, ආර්ථිකය අයහපත් වනවිට, කොටස් වෙළෙඳ පොළක් පහළ යෑමකට ලක්වෙයි. ලෝක ආර්ථික අර්බුද හමුවේ අපේ ආර්ථිකයද ගැටලුවලට මුහුණදීම නොවැළැක්විය හැකිය. එනමුදු, අනෙකුත් රටවලට සාපේක්ෂව ලෝක ආර්ථික අර්බුදය හමුවේ අප රටට සිදුවිය හැකි බලපෑම අඩුවිය හැකිය. එනමුදු, සියලු පාර්ශ්වම ඇතිවිය හැකි ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපගේ ආර්ථිකය හසුරුවන්නේ කෙසේදැයි සුපරික්ෂාවෙන් සිටියි. රජයද ඒ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර, විවිධ අභියෝග හමුවේ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු විය හැකිය. වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට රටේ ආර්ථික තත්ත්වය එතරම් බලපෑමක් සිදුකර නොමැති අතර, යම් බලපෑමක් සිදුවී ඇත්තේ පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ යාම හේතුවෙනි. එමෙන්ම, ආයෝජකයන් පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇතැයි උපකල්පනය කරන බැවින් එයද කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට අහිතකරව බලපා ඇත. රුපියල යම් ප්‍රමාණයකට අවප්‍රමාණය වීමද කොටස් වෙළෙඳ පොළේ සමාගම් සමහරකට සෘජුව බලපා ඇත. රුපියල අවප්‍රමාණය වීම ධනාත්මකව බලපාන සමාගම්ද කොටස් වෙළෙඳ පොළේ පවතී.
මේ අනුව, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා කොටස් වෙළෙඳ පොළේ හැසිරීම පිළිබඳව සෘජු සම්බන්ධතාවක් දැක්විය නොහැකිය. කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට බලපා ඇත්තේ අනෙකුත් කරුණුය.
රටේ දේශපාලන තත්ත්වය
වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට රටේ දේශපාලන තත්ත්වයද එතරම් බලපෑමක් සිදුකර නොමැත. වර්තමානයේ පවතිනේ ජාතික ආණ්ඩුවක් වන බැවින් රජයේ පෙරළීමේ අවදානමක් නොමැත. මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පැවතියේ ගිය වසරේ වන බැවින් නැවත ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පැවැත්වීමට වසර 5ක පමණ කාලයක් ඇත. එබැවින් ජනාධිපතිවරයාගේ හෝ රජයේ වෙනස් වීමක් සිදුවනු ඇතැයි අනුමාන කළ නොහැක. එය රටේ දේශපාලන ස්ථාවරත්වයට සෘජුවම බලපාන කාරණයකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පක්ෂ දෙක, වර්තමාන රජය පවත්වාගෙන යාමට දායක වන බැවින්, ඉතිහාසයේ නොවූ දේශපාලන වාතාවරණයක් වර්තමානයේ බිහිවී ඇත. මෙවැනි කාරණා කොටස් වෙළෙඳ පොළට සුබවාදීව බලපෑමක් කළ යුතු වුවත්, පවතින අනෙකුත් කාරණා කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට බලපෑම් එල්ල කොට ඇත.
කොටස් වෙළෙඳ පොළේ සමාගම්වල ක්‍රියාකාරීත්වය
කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ එහි ලැයිස්තුගත වී ඇති සමාගම්වල ක්රියාකාරීත්වයයි. සමාගම් ලාභ ලබන විට, එම සමාගම්වල කොටස් මිල ඉහළ යන අතර, සමාගම් අලාභ ලබන විට එම සමාගම්වල කොටස් මිල පහළ යයි. ශ්‍රී ලංකාව තුළ පැවති යුද්ධය නිමා වූ පසු, සමාගම් බොහෝමයක් ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය ඉදිරියට පවතිනු ඇතැයි අනුමාන කළ හැකිය. විශේෂයෙන්ම ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය තුළ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සමාගම්වල ඉහළ ලාභදායීත්වයක් බලාපොරොත්තු විය හැකිය. එමෙන්ම, මහා නගර සැලැස්මත් සමග ඉදිකිරීම් ක්ෂේත්රයේද විශාල වර්ධනයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. කාලගුණය යහපත්ව පැවතුණහොත්, අනෙක් ක්ෂේත්‍රයන්හිද වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය. මෙවැනි කාරණා ඉදිරියේදී කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට බලපෑමක් එල්ල කරනු ඇත.
දේශීය ආයෝජකයන්ගේ හැසිරීම
වසරේ මුල් සති කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ පහළ වැටීමත් සමග ආයෝජකයන්ගේ හැසිරීම ව්‍යාකූල වී තිබේ. බොහෝ විට දක්නට ලැබෙන්නේ ආයෝජකයන් අනවශ්‍ය කලබලයකට පත්වීමකි. එය කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට එතරම් සුබදායක නොවේ. ආයෝජකයන් දැනුවත්ව කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නේ නම්, මෙම උච්චාවචනවලින්ද ප්රතිලාභ ලබාගැනීමට අවස්ථා තිබේ. සමහර අවස්ථාවලදී සිදුවන්නේ ණය ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ඇති ආයෝජකයන් එම ණය මුදල් පියවීමට තම කොටස් විකිණීම නිසා කොටස් වෙළෙඳ පොළ තවදුරටත් පහළ වැටීමයි. සමහර අවස්ථාවලදී ආයෝජකයන් හට කොටස් නොවිකුණා තබා ගැනීමට එසේත් නැත්නම් දරාගැනීමේ හැකියාව අඩුය. එයද කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට බාධාවකි. ආයෝජකයන් සිදුකළ යුත්තේ මෙම උච්චාවචන හරිහැටි තේරුම්ගෙන නැණවත්ව ආයෝජනය කර උච්චාවචනවලින් ප්රතිලාභ ලබාගැනීමට උත්සාහ කිරීමය. ඒ සඳහා කොටස් වෙළෙඳ පොළ පිළිබඳව දැනුමක් ලබාගැනීම අත්‍යවශ්‍යය. කොටස් වෙළෙඳ පොළක කොටස් මිලදී ගත යුත්තේ කොටස් මිල ගණන් පහළ ගොස් ඇති අවස්ථාවලදී බව අප අපගේ ලිපි මාලාවේදී නොකඩවා සඳහන් කළ කාරණයකි. ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ විය යුත්තේ කොටස් වෙළෙඳ පොළ ඉහළ ගොස් ඇති අවස්ථාවක නොව, කොටස් වෙළෙඳ පොළ පහළ වැටී ඇති අවස්ථාවලදීය.
කොටස් වෙළෙඳ පොළට බලපාන නීතිරීති
කොටස් වෙළෙඳ පොළේ පැවැත්ම සඳහා පණවනු ලබන නීතිරීතිද කොටස් වෙළෙඳ පොළේ ඉහළ හෝ පහළ යාම තීරණය කරයි. කොටස් වෙළෙඳ පොළ රැකගැනීමේ පරමාර්ථයෙන් සමහර අවස්ථාවලදී නීතිරීති පැනවූවත්, එම නීතිරීති කෙටි කාලීනව සමහර අවස්ථාවලදී සෘණාත්මක බලපෑමක් එල්ල කරනු ලබයි. එයට හොඳම උදාහරණය නම්, වර්ෂ 2010 දී පැනවූ සමහර නීතිරීතිය. එම නීතිරීති පැනවීමෙන් බලාපොරොත්තු වූයේ කොටස් වෙළෙඳ පොළ රැකගැනීම වුවත්, එම නීතිරීතිවලින් සමහර අවස්ථාවලදී සෘණාත්මක බලපෑමක් කොටස් වෙළෙඳ පොළට එල්ල විය. එහෙත් කොටස් වෙළෙඳ පොළේ දිගුකාලීන පැවැත්ම ගැන සිතා බැලීමේදී එම නීතිරීති එම කාලවකවානුව තුළ අත්‍යවශ්‍ය වූ බව බොහෝ දෙනා දැන් විශ්වාස කරනු ලබයි.
ඒ කෙසේ වෙතත්, පසුගිය වසරක කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට බලපාන නීතිරීති කිසිවක් වෙනස්වී නොමැති අතර, එබැවින් නීතිරීති හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ පහළ ගොස් ඇතැයි යන්න පැවසීම කළ නොහැක. එබැවින් වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීමට පනවා ඇති නීතිරීති බාධාවක් වී ඇතැයි පැවසීම අනුමත කළ නොහැක.
මෙම දේශීය කාරණාවලට අමතරව අනෙකුත් දේශීය කාරණා කිහිපයක්ම කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට ධනාත්මකව හෝ සෘණාත්මකව බලපානු ලබයි. නමුත්, ප්‍රධාන කාරණාව වන්නේ ඉහත සඳහන් කළ කාරණාය.
කොටස් වෙළෙඳ පොළ උච්චාවචනයට බලපාන විදේශීය කාරණා
කොටස් වෙළෙඳ පොළක පැවැත්මට බලපාන විදේශීය කාරණාවන්ද පවතී. වර්තමානයේදී අපේ කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට බොහෝදුරට බලපා ඇත්තේ මෙම විදේශීය කාරණාවන්ය. මෙම විදේශීය කරණාවලට ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ ලෝක ආර්ථික තත්ත්වය, විදේශීය රටවල කොටස් වෙළෙඳ පොළ හැසිරීම, විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම, ලෝක දේශපාලනය යන කාරණාය.
ලෝක ආර්ථික තත්ත්වය
වර්ෂ 2008 දී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය කිසිවෙකුටවත් අමතක කළ නොහැකිය. වර්තමානයේ සමහර ආර්ථික විශේෂඥයන් පවසන්නේ එවැනි ආර්ථික තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය. විශේෂයෙන්ම චීන ආර්ථිකය තුළ ඇති වී තිබෙන තත්ත්වය ලෝකයේ අනෙකුත් රටවලට සෘජු බලපෑමක් එල්ල කරනු ලබයි. චීනය තුළ ඇති වූ ශීඝ්‍ර ආර්ථික වර්ධනය අඩපණ වීමකට ලක්ව ඇති අතර, මෙම කාරණාව හේතුවෙන් ලෝක ආර්ථිකය තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වයත් සමගම අනෙකුත් රටවල්වල ව්‍යවහාර මුදල් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහළ යමින් පවතින අතර, එයද එම රටවලට සෘණ බලපෑමක් එල්ල කර ඇත. වසර කිහිපයකට පසුව ඇමෙරිකාව විසින් පොලී අනුපාත ඉහළ දමා ඇති අතර, ඇමෙරිකාව පොලී අනුපාත ඉහළ දැමූ විට විදේශීය ආයෝජකයන් ඉහළ පොලී අනුපාතයක් ලබාගෙන ආයෝජන මාර්ගවලට යොමුවීම සිදුවනු ලබයි.
එමෙන්ම, ලෝක තෙල් මිලද වසර ගණනාවකට පසුව ඉතා පහළ මට්ටමකට පැමිණ ඇත. මෙයද ලෝක ආර්ථික තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කර ඇත. ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ලොව බොහෝ රටවල් යම්කිසි ආකාරයක ආර්ථික අර්බුදයකට ලක්ව සිටියි. මෙම කාරණාව බොහෝ රටවල කොටස් වෙළෙඳ පොළවල හැසිරීමට සෘජුවම බලපා ඇත.
විදේශීය රටවල කොටස් වෙළෙඳ පොළ හැසිරීම
අප මේ ලිපියෙන් මුලින්ම සඳහන් කළ ආකාරයට ලොව බොහෝ කොටස් වෙළෙඳ පොළවල් මේ වසරේ දැනට සැලකිය යුතු පහළ වැටීමක් පෙන්නුම් කර ඇත. එම පහළ වැටීම අපගේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීමටද බලපෑමක් එල්ල කරනු ලබයි. එය සෑම විටකම සිදුවන්නකි. ඉහත සඳහන් කළ ආකාරයට මේ වසරේ දැනට ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් සමස්තයක් ලෙස 9.2% ක් පහළ වැටී ඇත.
විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම
බොහෝ වර්ධනය වෙමින් පවතින ආර්ථිකවල කොටස් වෙළෙඳ පොළවල් මේ වනවිට විදේශීය ආයෝජකයන් ඉවත් වීමේ ප්‍රවණතාවකට ලක්ව සිටියි. සමහර රටවල පොලී අනුපාත ඉහළ යමින් තිබෙන නිසා බොහෝ විට විදේශීය ආයෝජකයන් සිදුකරනු ලබන්නේ එම ඉහළ පොලී අනුපාත ලබාගෙන ආයෝජන මාර්ගවලට තම ආයෝජන යොමු කිරීමයි. නමුත්, ඕනෑම අවස්ථාවකදී ආයෝජන අවස්ථා දුටුවිට එම රටවල ආයෝජනය කිරීමට ඔවුන් මැලිකමක් නොදක්වයි. ශ්‍රී ලංකාව තුළද සැලකිය යුතු ආයෝජන අවස්ථා රැසක් දක්නට ලැබෙන බැවින් කෙටි කාලීනව ඉවත් වුවත්, දිගුකාලීනව විදේශීය ආයෝජකයන් ආයෝජනය කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය. එය වර්ෂ 2008 දීත් සිදුවූ අතර, විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම බොහෝ විට පෙන්නුම් කරනු ලබන්නේ ඔවුන් ලාභ ලබාගැනීමට දක්වන සුපරීක්ෂණභාවයයි. බොහෝ අවස්ථාවලදී ඔවුන් කොටස් වෙළෙඳ පොළක ආයෝජනයට පැමිණෙන්නේ එම වෙළෙඳ පොළවල් පහළ වැටී ඇති අවස්ථාවලදීය.
ලෝක දේශපාලන තත්ත්වය
ලෝක දේශපාලන තත්ත්වයද කොටස් වෙළෙඳ පොළක හැසිරීමට ප්‍රධාන හේතුවක් වේ. වර්තමානයේදී විවිධ කාරණා හේතුවෙන් ලෝක දේශපාලන තත්ත්වය යම්කිසි ආකාරයක අස්ථාවර භාවයකට පත්ව ඇත. මැදපෙරදිග මෙන්ම යුරෝපයේද එම ගැටලුව පවතී. මෙවැනි කාරණා කොටස් වෙළෙඳ පොළක පැවැත්මට බලපෑමක් එල්ල කරනු ඇත.
මෙම සියලු කාරණා කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට ධනාත්මකව හෝ සෘණාත්මකව බලපානු ලබයි. අපගේ කොටස් වෙළෙඳ පොළටද එය පොදුය. එහෙත්, අපගේ ආර්ථිකය ලෝක ආර්ථිකයට සෘජුවම විවිර වී නොතිබීම තුළින්, ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම අප හට පාලනය කරගත හැකිය. එය කොටස් වෙළෙඳ පොළේ ඉදිරි ගමනට යහපත් ආකාරයෙන් බලපානු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd