ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයේ ඉතා අපූර්ව පරිසරයන්හි පිහිටා ඇති Cinnamon Bey Beruwala, Bentota Beach by Cinnamon සහ Hikka Tranz by Cinnamon යන සංචාරක හෝටල් දකුණු වෙරළ තීරයේ අමතක නොවන නිවාඩුවකට මග පාදමින් හිතගත සැහැල්ලු කරන ක්‍රියාකරකම් හා ත්‍රාසයෙන් සපිරි වික්‍රමාන්විත ක්‍රියාකාරකම් පෙළක් හඳුන්වා දී තිබේ. මෙම හෝටල් තුනම දකුණු වෙරළ තීරයේ සුන්දර විවේකයක් අපේක්ෂා කරන පවුල්, මිතුරන්, සමූහ සහ ආයතනික කණ්ඩායම්වල අවශ්‍යතා සපුරාලීමට සූදානම්ව සිටින බව ඔවුහු පවසති.
හික්කඩුව Tranz by Cinnamon හිදී රස නහර පිනවන ආහාර සමගින් සුවපහසු මෙන්ම සිත් උද්දීපනය කරන නවාතැන් පහසුකම්ද ලබාගත හැකිය. සංචාරකයන්ට ආස්වාදයක් ගෙනදෙමින් බොහෝ උදෑසන කාලයන් හි ආහාර පිණිස මුහුදු පැලෑටි සොයා වෙරළට පීනා එන රෝසි නම් කැස්බෑවා මෙහිදී දැකගත හැකිය. දවසේ පෙරවරු කාලයේ පැහැදිලි වතුරේ මතුපිට ස්නෝකල් ආධාරෙයෙන් පිහිනායමින් විසිතුරු කොරල් නැරඹීමට හෝ ස්කුබා කිමිදුමක නිරත වීමට, එසේත් නැතිනම් ඩොල්පින් හා තල්මසුන් නරඹන සමයකදී නම් සාගර ක්ෂීරපායි සතුන් නැරඹීමේ සෆාරියක නිරතවීමට හා මිරිස්ස වෙත යාම ආදී බොහෝ ක්‍රියාකාරකම් පවතී.
ප්‍රණීත ආහාරවල රසය විඳිය හැකි Cinnamon Bey බේරුවල යනු දකුණුදිග වෙරළ තීරයේ පිහිටි විශාලතම හා සංකේතාත්මක නිවාඩු නිකේතනයකි. සාරවත් තුර්කි තේමාවක ආභාෂය ලද වාස්තු විද්‍යාත්මක ශෛලියකින් හෙබි මෙහි ඇතුළත හා එළිමහන් අවකාශ අසීමාන්තික සුන්දරත්වයක් සහ සියුම් ගාම්භීරත්වයක් ගෙනදෙයි. හෝටලය අවන්හල් 6 කින් සමන්විත වන අතර මාළුවලින් සැකසු ඉස්තරම් ආහාර, ප්‍රනීත අතුරුපස ඇතුළු ආහාර විකල්ප පෙළකින් යුතු විවිධත්වයක් එක්කර තිබේ.
බෙන්තොට Beach by Cinnamon කොළඹ සිට පැය එකහමාරක පමණ දුරින් පිහිටා ඇති, ඔබට ත්‍රාසය හා සැහැල්ලුවේ නියම මුසුවක් ලබාදෙන හෝටලයකි. ජෙෆ්රි බාවා විසින් සැලසුම් කරනලද මේ හෝටලය චිත්තාකර්ෂනීය ඇතුළත හා එළිමහන් ඉසව්, මණ්ඩප, ගඟට නෙරාගිය සඳැලි ඇතුළු විවිධ පහසුකම් රැසකින් සමන්විතය. සාම්ප්‍රදායික සැරසිලි ආදිය සහිත අලෙවිසල් පිරුණු බෙන්තොට නගරයේ සංචාරය කිරීමට මෙන්ම, පිහිනුම් තටාකයක්, ක්‍රීඩා සංකීර්ණයක්, ළමා උයනක්, ආදී මුළු පවුලටම විනෝදාස්වාදය ගෙනදෙන පහසුකම් රැසකින් හෝටලය සමන්විත වේ.