අග්නිදිග ආසියාවේ විශාලතම කෙඳි නිමැවුම් නිෂ්පාදකයකු BPPL Holdings Limited(BPPL) ආයතනයේ 10% ක හිමිකම් සඳහා රු.12.00 බැගින් වූ කොටස් 30,685,000ක මූලික කොටස් නිකුතුවක් මගින් රු.368,220,000 ක් රැස්කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම නිකුතු මිල අනුව වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු.බිලියන 3.7ක් බව ඔවුහු පවසති.
මෙම අර්පණයේදී Hirdaramani Investment Holdings (Pvt) Limited සතුව පවතින 23.4% ක BPPL හි අයිතිය 13.4%ක් දක්වා පහත හෙලනු ලැබේ Infinity Capital (Pvt) Limited සහ LOLC Investments Limited තම 50.3% සහ 26.3% හිමිකම එලෙසම පවත්වා ගනු ඇති බවද ඔවුහු පවසති. එමෙන්ම, වර්තමාන කොටස් හිමියන්ද මූලික නිකුතුවේ සිට අවමය මාස 12 දක්වා හිමිකම් බැහැර නොකරනු ඇති බව පෙන්වා දෙති. මෙම මූලික කොටස් නිකුතුව මගින් වසර ගණනාවක් තිස්සේ පෞද්ගලික මට්ටමේ පැවති හිමිකාරිත්වය වඩා වැඩි පැතිරුණු හිමිකාරිත්වයක් බවට පත්වනු ඇති බව ඔවුහු විශ්වාස කරති.
මෙම නිකුතුව 2017 මාර්තු 7 වැනි දින ආරම්භ කෙරෙන අතර 2017 මාර්තු 24 වැනි දින අවසන් විමට නියමිත අතර, අධි දායකත්වයක් ඇති වුවහොත් පමණක් ඊට පෙර අවසන් විය හැකිය.
CTCLSA Capital (Pvt) Ltd. ආයතනය මෙම නිකුතුව සම්බන්ධයෙන් මූල්‍ය උපදේශකයන් සහ කළමනාකරුවන් ලෙස කටයුතු කරනු ඇති අතර, අදාළ සංස්ථා ප්‍රකාශය සහ අයදුම්පත් 2017 පෙබරවාරි 21 සිට ලබාගත හැකි බවද පෙන්වා දෙති.
මෙම මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් BPPL ප්‍රධාන විධායක ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා, "BPPL සමාගම වෙනුවෙන් සකසන ලද අතිමහත් වූ සැලසුම් සමුදායක් අප සතුව තිබෙන අතර ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. ඉදිරි කාලයේදී උපායමාර්ගික සැලසුම් මගින් ලබාගැනීමට නියමිත ශීඝ්‍ර වර්ධනය සඳහා අප හොඳ සූදානමකින් සිටින බැවින් මේ මූලික කොටස් නිකුතුව මහජනතාව සඳහා හිමිවන විශේෂිත අවස්ථාවක් වනු ඇති. නිම්වළලු පුළුල් කරමින් දීප්තිමත් අනාගතයක් කරා අප ගමන් කරන අතර මේ මූලික කොටස් නිකුතුව මගින් එම කාර්යන් වඩා වගකීමෙන් සිදුකරනු ලබන බවට අප ඔබට තහවුරු කර සිටිනවා." යැයි පවසා සිටියේය.
BPPL සමාගම යනු Beira Group of Companies හි මවු සමාගම වන අතර, එය 1991 දී පිහිටුවනු ලැබ ඇත්තේ Interbrush lanka Limited නම් වූ 1984 ආරම්භ කළ ව්‍යාපාරය පවරා ගැනීමෙන් පසුවය. Beira Brush (Pvt) Limited සහ Beira Enviro Solutions (Pvt) Limited යන ආයතන BPPL Holdings Limited ආයතනයේ පරිපාලිත සමාගම් වේ.
BPPL සමාගම වෘත්තීය, වාණිජ හා ගෘහ වෙළෙඳ පොළවල් සඳහා පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදන නිපදවන අතර, මෙම සමාගම නවීන කර්මාන්තශාලා 4ක සහ විශාල ගබඩා පහසුකම්වලින් සමන්විත වේ. BPPL සමාගම වර්තමානයේ ලෝක මට්ටමේ සන්නාම වන Oates, Grainger සහ Rubbermaid වැනි සමාගම්වල සැපයුම්කරුවෙක් වේ.
මෙම සමාගම ඇමරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළවල් සඳහා ඉතා උසස් තත්ත්වයෙන් යුතු කෙඳි නිමවුම් සපයන අතර, තමුන්ගේම සන්නාමයන්ගෙන් අග්නිදිග ආසියාව තුළ ව්‍යාපාර කටයුතු සිදු කරයි. සමාගම සතුව පිළිවෙලින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ Tip Top සහ JAB යන සන්නාමයන්ගෙන් යුතු ඉතා සාර්ථක ගෘහස්ත පිරිසුදු කිරීමේ උපකරණ වෙළෙඳ පොළක් ඇත.
කෙඳි නිමැවුම් සම්බන්ධ තාක්ෂණය සහ එම දැනුම සම්බන්ධව BPPL සමාගම ඉදිරියෙන්ම සිටින අතර, මෑතකදී ශ්‍රී ලංකාවේ රෙදි නිෂ්පාදන කර්මාන්තය සඳහා පොලියෙස්ටර් නිස්සාරණය කිරීමේ කර්මාන්ත ශාලාවක් සඳහාද ආයෝජනය කර ඇත. 2019 වර්ෂයේ සිට මෙම කර්මාන්තශාලාව මගින් සමාගමේ ආදායමට දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙහිදී, අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, "සමාගමක් ලෙස අප නිරතුරුවම අපේක්ෂා කරනුයේ වඩා හොඳ ගුණාත්මක බවින් යුතු, වැඩි වගකීමකින් යුතු, අර්ථාන්විත කාර්යයන්හි නියුක්ත වීමටයි. ඒ තුළින් ගනුදෙනුකරුවන් වෙත වටිනාකමක් එකතු කිරීමත් පමණක්ම නොව, දැනුමේ කේන්ද්‍රස්ථානයක් වීම සහ දියුණුව කරා ඇදීයන ශ්‍රී ලංකාව තුල ඉදිරිපෙළ ව්‍යාපාර අතරට පැමිණීම හා දක්ෂතා සහ කුසලතා ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමත් අපගේ අරමුණු අතර පවතිනවා" යනුවෙනි.
2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළදී ව්‍යාපාර සමූහය රු.බිලියන 2.1ක වාර්තාගත ආදායමක් උපයාගෙන ඇති අතර ශුද්ධ ලාභය ලෙස රු.මිලියන 306.9ක් උපයාගෙන ඇත. මීට අමතරව, 2016 දෙසැම්බර් 31 න් අවසන් මාස 9 සඳහා ව්‍යාපාර සමූහයේ ආදායම සහ ශුද්ධ ලාභය ලෙස පිළිවෙලින් රු.බිලියන 1.8ක් හා රු.මිලියන 297.4ක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ එම කාලසීමාව හා සසඳන විට 21% සහ 50% ක වැඩිවීමකි.