පින්සල්/බුරුසු නිෂ්පාදනයේ යෙදෙන සහ අලුත්වැඩියා නඩත්තු මෙවලම් අපනයනකරුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බී.පී.පී.එල්. හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සීනුව නාද කොට සමාගමේ කොටස් ප්‍රථම වරට ලැයිස්තුගත වීම සැමරීම පසුගියදා සිදුකර තිබේ.
බී.පී.පී.එල්. හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම නියෝජනය කරමින් සභාපති සරත් අමරසිංහ, කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ යන මහත්වරු සහ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ පිරිස්ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත. බී.පී.පී.එල්. හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගමෙහි මූලික නිකුතුවෙහි කළමනාකාරිත්ව ක්‍රියාවලියට මූලිකත්වය දෑරු CT CLSA Capital සමාගමෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස්ද සීනුව නාද කිරීමේ උත්සවයට සම්බන්ධ වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජනය කරමින් සභාපති වජිර කුලතිලක, අධ්යක්ෂ එම්.ආර්. ප්රේලී, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව ඇත.
බී.පී.පී.එල්. හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළට සම්ප්‍රාප්ත වීම පිළිබඳව සුබපතමින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති වජිර කුලතිලක මහතා කියා සිටියේ එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වීමත් සමග කොටස් හිමියන්ගේ අයිතීන් රැකගැනීමට සහ ප්රතිලාභ තහවුරු කරදීමට කටයුතු කළ යුතු බවත්ය. නිෂ්පාදිත ක්ෂේත්රයක් තුළින් රටකට ඇති ප්‍රබල පිටුවහල ගැන අගය කරමින් වජිර කුලතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේ බී.පී.පී.එල්. සමාගම දැනට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි පවතින නිෂ්පාදිත ක්ෂේත්‍ර සමාගම් ලැයිස්තුවට එක්වීම ඉතාමත් සුභදායක ආරංචියක් බවය.
සමාගම කෙරෙහි විශ්වාසයක් තැබූ නවතම කොටස් හිමියන් සඳහා බී.පී.පී.එල්. සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ස්තුතිය පළ කර ඇත. එසේම ඒ මහතා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සහ සේවක මණ්ඩලය විසින් දීර්ඝ කාලීනව සමාගමට දැක්වූ ඉමහත් කාර්යභාරය ඇගයීමට ලක්කිරීමටද මෙය අවස්ථාවක් කරගෙන තිබේ.
“මෙය තවමත් අපගේ ආරම්භයයි. ඉදිරියෙදී ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළ අප අපේක්ෂා කරනවා. සෑම පියවරකදීම අපගේ සියලුම පාර්ශ්වකරුවන්ට වැඩි ප්‍රගතියක් සහ වැඩි ප්‍රතිලාභයක් ලබාදීමට අප සැමවීටම කටයුතු කරනවා” යනුවෙන් හෙතෙම පෙන්වා දී ඇත.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳ පොළ ලෙස ක්‍රියාත්මක වෙමින්, ලයිස්තුගත සමාගම්වලට හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කර දී ඇත. සාමාජික ආයතන 15කින් හා ගනුදෙනුකරන සාමාජික ආයතන 20කින් සමන්විත මෙය ශී ලංකාවේ නෛතික රාමුවට අදාළව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් අධිකාරිය ලබා ඇති බවත් ඔවුහු පවසති. මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනු කරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් පවසති.