ATRS සංගමයේ වාර්ෂිකව පළ කරනු ලබන වාර්තාවක් උපුටා දක්වමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) ආසියාවේ අකාර්ෂයක්ෂම ගුවන් තොටුපළක් ලෙස පළ වූ මාධ්‍ය වාර්තා කරුණු වැරදි ලෙස උපුටා දැක්වීමක් සහ අර්ථ නිරූපණය කිරීමක් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ (AASL) සභාපති ප්‍රසන්න ජේ. වික්‍රමසූරිය මහතා පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ අරමුණින් ඊයේ (31දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
ATRS සංගමය වාර්ෂිකව පළ කරනු ලබන එම වාර්තාවට අනුව ආසියාවේ ගුවන් තොටුපළ 37ක නියැදියක් අනුසාරයෙන් සිදුකර තිබූ විශ්ලේෂණයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මිල තරගකාරීත්වය හා ඵලදායීතාව මත පිළිවෙළින් 7 වැනි සහ 25 වැනි ස්ථාන ලබා තිබුණත්, එහි සැබෑ තත්ත්වය ඇතැම් මාධ්‍ය වැරදි ලෙස උපුටා දැක්වීමක් සහ අර්ථ නිරූපණය කිරීමක් සිදුකර තිබූ බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම, ඵලදායීතාව මත ස්ථානගත කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නවදිල්ලිය, මුම්බායි, චෙන්නායි, ජපානයේ හනීඩා සහ තායිවානයේ තායිපේ ගුවන්තොටුපළවලට ඉහළින් ස්ථානගත වී සිටින බවද හෙතෙම පැවසීය.
නමුත්, එකී වාර්තාවේම අඩංගු මිල තරගකාරීත්වය මත සිදුකරන ස්ථානගත කිරීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපළට 7 වැනි තැන හිමිවී ඇති බව පෙර කී මාධ්‍ය ප්‍රචාර තුළින් ගිලිහී ඇති බවද පෙන්වා දුන් සභාපතිවරයා, එහිදී, බණ්ඩාරනායක ගුවන් තොටුපළ ආසියාවේ නමගිය ගුවන් තොටුපළවල් වන ජපානයේ නරීටා, සිංගප්පූරුවේ ෂැංහයි සහ දකුණු කොරියාවේ ඉන්චියෝන් ගුවන් තොටුපළවලට වඩා ඉදිරියෙන් සිටින බවද පැවසීය.
අභිනව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ආරම්භ කිරීම ඇතුළුව ගුවන් සේවා ක්ෂේත්රයේ විවිධ සංවර්ධන කටයුතු සිදුවන සහ වේගවත් ඉදිරිගාමී මාවතකට යොමු වෙමින් කලාපයේ මෙන්ම ලෝකය තුළ කාර්යක්ෂම ගුවන් සේවා සපයන්නෙකු සෙ ශ්‍රී ලංකාව තුළ ඉස්මතු වෙමින් පවතින මෙවැනි අවස්ථාවක මෙවැනි අර්ථ නිරූපණ තුළින් රටේ සමස්ත ගුවන් සේවා කර්මාන්තයටම ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා සැලකිලිමත් විය යුතු බවද සභාපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගයන ප්රමුඛ ආයතන ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා ආයතනය (ICAO), ස්කයිට්රැක්ස් (SKYTRAX) ආයතනය වැනි ආයතන මගින් සිදුකරන ඇගයීම් සහ ස්ථානගත කිරීම්වල බණ්ඩාරනායක ගුවන් තොටුපළ නිරතුරුවම ඉහළින් ස්ථානගත කොට ඇති බවද මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති කමල් එස්. රත්වත්ත, විධායක අධ්යක්ෂ ජොහැන් ජයරත්න, ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්/ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී. නිමල්සිරි, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කපිතාන් දෘවි පෙරේරා, එමිරේට්ස් ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකාර චන්දන ද සිල්වා සහ කොරියන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකාර බෙන්ජමින් ඩබ්. හැන් යන මහත්වරුද සහභාගි වූහ.