ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) රාජ්‍ය අංශ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය (APFASL) රාජ්‍ය අංශයේ විනිවිදභාවය, වගකීම සහ යහපාලනය උසස් මට්ටමකට ගෙන ඒමට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා නවෝත්පාදන කිහිපයක් හඳුන්වා දෙමින් ප්රමුඛ භූමිකාවකට අවතීරණය වී සිටින බව පසුගියදා අනාවරණය කළේය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත් සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණාකාධිකාරී සංගමයේ සභාපති වී. කනගසභාපති යන මහත්වරු පසුගිය 20 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළහ.
මෙම නවෝත්පාදන සඳහා වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සුදුසුකම, රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්රමිතීන් යොදාගැනීම හා ස්ථාපිත කිරීම, විශිෂ්ටතම වාර්ෂික වාර්තා සහ ගිණුම්කරණ සම්මාන තරගාවලියක් හඳුන්වාදීම, රාජ්‍ය අංශ ඒකකය සඳහා පරිපූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ හා මූල්‍ය වෘත්තිකයන් සඳහා ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය අඩංගුය.
මෙම අවස්ථාවට CA ශ්‍රී ලංකා උප සභාපති ලසන්ත වික්‍රමසිංහ සහ APFASL ලේකම් කේ.එල්. පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ