මෙම වසර ලෝක ගුවන් ගමන් සඳහා ඉතාමත් වැදගත් වසරක් වනු ඇති බවත්, ඉන්ධන මිල ගණන් සැළකිය යුතු ලෙස පහළ මට්ටමක පවතින අතර, මේ වනවිට ගෝලීය ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම ශක්තිමත් වී ඒ සඳහා ඉතා තරඟකාරී වෙළෙඳ පොළක්ද නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.
ඒ අනුව, වර්තමානයේ සිදුකරන මෙහෙයුම් අධීක්ෂණයට ලක්කරමින් ඊට සරිලන ධාරිතාව වැඩිකරමින් තිරසාර ගමනාන්තයන් වෙත මෙහෙයුම් සිදුකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.
එසේම යුරෝපයේ ශ්‍රී ලංකන් මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානය ලන්ඩන් වනු ඇති බවද කියයි. දැනටමත් ලන්ඩන් සහ කොළඹ අතර නොනවතින ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය ශ්‍රී ලංකන් වන අතර, ඒ සඳහා නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා යොදවා ඇති බවත්, අභ්‍යන්තර පහසුකම් සහ සැපපහසුවද සමග උසස් තාක්ෂණික ලක්ෂණ ඇතුළත් මෙම ගුවන් යානාවලින් මගීන්ට විශේෂිත වූ පියාසර අත්දැකීමක් ලබාදෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකන් පැරිස් වෙත සතියකට සිදුකරන ගුවන් මෙහෙයුම් හතර තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කරන අතරම ගිම්හාන කාලයේදී එනම් 2016 ජූලි මාසයේ සිට ෆ්රැන්ක්ෆර්ට් වෙත 5 වැනි ගමනාන්තයක් එකතු කරමින් මෙහෙයුම් වැඩිකිරීමටද සැලසුම් කර තිබේ.
එසේම ශ්‍රී ලංකන් වාණිජමය වාසියක් ඇති මාර්ග ධාරිතාව වැඩිකිරීමේ අරමුණින් 2016 මැයි මස 1 වැනිදා සිට රෝමයට සිදුකරන ගුවන් මෙහෙයුම් අතිහිටුවීමට තීරණය කර ඇත. එසේම සංඛේත හුවමාරු හවුල්කරුවන් සමග එක්ව යුරෝපය සහ උතුරු ඇමෙරිකානු ගමනාන්ත වෙත වඩාත් පහසු ගුවන් සබඳතා ලබාදීමටද ගුවන් සමාගම කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මැදපෙරදිග ප්‍රධානතම ගුවන් මධ්‍යස්ථනය 7කට, එනම් අබුඩාබි, ඩුබායි, දෝහා, සෞදි, රියාද්, ජෙඩා හා කුවේට් යන ගමනාන්ත වෙත සතියකට ගුවන් ගමන් වාර 42ක මෙහෙයුම් සිදුකරනු ලබයි. තවද ශ්‍රී ලංකන් මැදපෙරදිග ගුවන් මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රියාද් වෙත දිනපතා ගුවන් ගමන්ද, ජෙඩා වෙත සතියකට ගුවන් ගමන් වාර 6 ක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2013, 2014 සහ 2015 වසරවලදී ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට වන අතර, 2015 යන වසරේදී සංචාරක පැමිණීම අතින් එතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ චීනය දෙවැනි ස්ථානයට පත්ව තිබේ.