SLEIS 2026, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආර්ථිකයේ නව අවස්ථා සොයයි
ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයේ නව මූලාශ්‍ර පුළුල් කරගැනීමේ මඟක ගමන් කරන පසුබිමක, සෞඛ්‍ය සේවය යනු සමාජීය ප්‍රමුඛතාවක් පමණක් නොව ආයෝජන, නව්‍යකරණය සහ ආර්ථික සංවර්ධනය සඳහා මහත් අභිමතාර්ථයන් සහිත ක්ෂේත්රයක් ලෙස අද වන විට වඩාත් වැදගත් වී තිබේ.
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 (SLEIS 2026) හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආර්ථිකයේ පවතින මෙම අසමසම විභවය පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට නියමිතය. මෙම සමුළුව 2026 ඔක්තෝබර් 12-13 යන දිනවලදී පැවැත්වේ.
"නවීන සෞඛ්‍ය ආර්ථිකයක් සඳහා සෞඛ්‍ය සේවය ප්රතිකල්පනය කිරීම" (Reimagining Healthcare for a Modern Health Economy) යන මැයෙන් යුත් විශේෂ සැසිය මඟින්, සෞඛ්‍ය සේවා, ඖෂධ, වෛද්‍ය තාක්ෂණය සහ ඒ ආශ්රිත ක්ෂේත්රයන්හි නව අවස්ථා උදාකර ගනිමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පරිසර පද්ධතිය ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත. තවද, සෞඛ්‍ය සේවා සැපයීම සහ එහි ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන සහ නව්‍යකරණයන්හි දායකත්වය කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරේ.
මෙම කමිටු සාකච්ඡාව සඳහා ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ සයිඩස් ලයිෆ් සයන්සස් ලිමිටඩ් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී තුෂාර් ෂ්රොෆ් මහතා විසිනි. එම සාකච්ඡාව සඳහා හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ විද්‍යානි හෙට්ටිගොඩ මෙනවිය, පෞද්ගලික රෝහල් සහ හෙදසේවා මධ්‍යස්ථාන සංගමයේ සභාපති මෙන්ම රුහුණු රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් වික්‍රමසිංහ මහතා, හෙමස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති සහ විධායක නොවන අධ්යක්ෂ මුර්තාසා එසුෆ්අලි මහතා සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය රවි රන්නන්-එලිය යන මහත්ම මහත්මීහු එක්වෙති. සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලබයි.
නවීන සෞඛ්‍ය ආර්ථිකයක් ගොඩනැඟීමේදී පවතින අභියෝග සහ අවස්ථා මඟහරවා ගනිමින්, සෞඛ්‍ය අංශයේ සංවර්ධන කටයුතු හරහා ඵලදායිතාව, ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා දායක විය හැකි ආකාරය මෙම සැසිය මඟින් ගැඹුරින් පරීක්ෂාවට ලක් කෙරේ.
"වෙනස්වන ගෝලීය ආර්ථිකයක් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය" (Positioning Sri Lanka in a Changing Global Economy: Resilience, Reform, and the Future of Economic Policy) යන තේමාව යටතේ පැවැත්වෙන SLEIS 2026 සමුළුවේ දෙවැනි දිනයට මෙම සැසිය ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 (SLEIS 2026) සඳහා එහි අනුග්රාහකයන් සහ හවුල්කරුවන්ගෙන් විශාල දායකත්වයක් හිමිවී තිබේ. ඒ අනුව, ප්ලැටිනම් අනුග්‍රාහකත්වය - Standard Chartered Bank Sri Lanka, රන් අනුග්‍රාහකත්වය - VISA Worldwide (Pvt) Ltd., ලෝකඩ අනුග්‍රාහකත්වය - South Asia Gateway Terminals (Pvt) Ltd., උපායමාර්ගික සංවර්ධන හවුල්කරු - Asian Development Bank, දුරකථන සන්නිවේදන හවුල්කරු - Dialog Telecommunication, රූපවාහිනී හවුල්කරු - Dialog Television), සැසි අනුග්රාහකයන් - ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි (පෞද්.) සමාගම, හෙමස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝර්සියම් (පෞද්.) සමාගම, නිල සැපයුම් හවුල්කරු - Hayleys Advantis Limited, නිල ගුවන් සේවය - SriLankan Airlines Ltd., නිල ආගන්තුක සත්කාර හවුල්කරු - Shangri-La Colombo සහ ගුවන් සේවා හවුල්කරු - China Eastern Air Holding Co. Ltd. යන ආයතන විසින් මෙම සමුළුව වෙනුවෙන් සහයෝගය ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
