ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ සහ දිළිඳුකම පහත හෙළීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය හා එක්ව එක්සත් ජනපද රජය සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) පස් අවුරුදු සංයුක්ත ආධාර වැඩසටහන යටතේ තවත් රු.මිලියන 413ක් (ඇ.ඩො.මි.2.6ක්) ලබාදීමට අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ.
පසුගිය ජුනි 11දා සිට 12දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ MCC හි යුරෝපා, ආසියා පැසිෆික් සහ ලතින් ඇමෙරිකානු කලාප භාර කළමනාකාර අධ්යක්ෂ කැරොලින් නූයන් මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී සිදුකර තිබුණි.
මෙම යෝජිත MCC මහා පරිමාණ පස් අවුරුදු සංයුක්ත ආධාර වැඩසටහන සඳහා වූ ගිවිසුමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් කැරොලින් නූයන් මහත්මිය ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටියාය. උසස් තත්ත්වයේ, සාධනීය හා තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන්ට සහායදීම සඳහා පසුගිය වසරේ ජූලි මාසයේදී MCC ආයතනය විසින් සපයන ලද රු.බිලියන 1.2ක (ඇ.ඩො.මිලියන 7.4ක) අතිරේකයක් වශයෙන් රු.මිලියන 413ක මුදල ලබාදී ඇති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව, මෙය MCC විසින් මෙම වැඩසටහනට ලබාදෙන සම්පූර්ණ ප්රතිපාදනයට අමතරව ලබාදෙන්නක් බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සංවර්ධනයේ අවසාන අදියර තුළ පවතින බවත්, එය MCC අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා 2018 වසරේ අගභාගයේ ඉදිරිපත් කිරීමට නියමිත බවත් තානාපති කාර්යාලය පවසයි. එහිදී, මුළු සංයුක්ත සංවර්ධන ගිවිසුම සඳහා මූල්‍ය ප්‍රතිපාදන MCC තුළින්, නැවත ගෙවිය යුතු ණයක් ලෙස නොව, දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කර ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ එහි දියුණුවට මෙන්ම පෞද්ගලික ආයෝජන අවස්ථා හමුවේ පවතින බාධක සම්බන්ධ විශ්ලේෂන සලකා බලා, MCC ආයතනය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා රජය විසින් ගමනාගමන සහ ඉඩම් සංවර්ධනය සම්බන්ධව අරඹා ඇති වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමටය. යෝජිත ගිවිසුම තුළින් නාගරික වාහන තදබදය අඩු කිරීම, අන්තර් පළාත් මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය දියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය සඳහා රජය විසින් අරඹා ඇති වැඩසටහන් සඳහා සහාය දීමටද අපේක්ෂා කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
2016 දෙසැම්බර් හිදී MCC ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ගිවිසුමක් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර, MCC ප්‍රතිපත්ති සටහනේ දර්ශක 20න් 13ක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ගිවිසුම සඳහා සිදුසු යැයි තීරණය කළ බවද එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.