තාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපතිවරයාගේ දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)අධ්යක්ෂ මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණික විශේෂඥයින්රැසක් පත් කර තිබේ.
ඒ අනුව, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නායකයින්, තාක්ෂණ ව්‍යවසායකයින්, විද්වතුන් සහ රාජ්‍ය අංශ සාමාජිකයින්ගෙන් මෙම මණ්ඩලය සමන්විත වේ.
ඒ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා ලෙසින් IFS Sri Lanka හි සම නිර්මාතෘ හා හිටපු සභාපති ජයන්ත ද සිල්වා මහතා පත් කර ඇති අතර, ඔහු SLASSCOM, BCS Sri Lanka සහ ශ්‍රී ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වෙයි. ඒ මහතා මෙම ක්ෂේත්රයේ වසර 35 කට අධික පළපුරුද්දක් ඇත්තෙකි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස 99X Technology ප්‍රධාන විධායක සහ SLASSCOM හි හිටපු සභාපති මනෝ සේකරම්, WSO2 නිර්මාතෘ ආචාර්ය සංජීව වීරවර්ණ, SLIIT ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, ICTA හිටපු ප්‍රධාන විධායක රෙෂාන් දේවපුර, SAP India අලෙවි කළමනාකාර මනෝරි උනම්බුව සහ ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහත්ම මහත්මීන් පත්කර තිබේ.