HIP වරායේ වසරකට වැඩි කලක් රැඳී ඇත්තේ වාහන 581ක් පමණයි
මේ වන විට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ප්‍රතිඅපනයන සහ දේශීය ආනයන ඇතුළුව වාහන 50,000කට අධික සංඛ්‍යාවක් ගාල් කර තිබුණද, මාස තුනකට වැඩි කාලයක් වරායේ රැඳී ඇති දේශීය ආනයනික වාහන සංඛ්‍යාව 1,278ක් පමණක් වේ. එයින් වසරකට වැඩි කාලයක් රැඳී ඇති වාහන සංඛ්‍යාව 581ක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවසයි.
මෑතකාලීන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් HIPG සඳහන් කළේ, වසරකට වැඩි කාලයක් වරායේ රැඳී ඇති වාහන 581 න් 400කට ආසන්න සංඛ්‍යාවක්, 2025 ශ්‍රී ලංකාවේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට පෙර මෙරටට ගෙන්වා ඇති බවයි. තවත් වාහන 175ක් 2020 වසරේ වාහන ආනයන සීමා පැනවීමට පෙර ආනයනය කළ ඒවා වන අතර, වාහන 178ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළමනාකරණය HIPG වෙත භාරදීමට පෙර, එනම් 2017 දෙසැම්බර් මාසයටත් පෙර සිට වරායේ රැඳී තිබූ ඒවා බවද එම නිවේදනයේ දැක්වේ.
HIPG අවධාරණය කරන්නේ වරායේ ව්‍යාපාරික ආකෘතිය ගොඩනැගී ඇත්තේ ගබඩා ගාස්තු මත නොව, භාණ්ඩ කාර්යක්ෂමව හැසිරවීම සහ නෞකා මෙහෙයුම් මත බවයි.
"ඕනෑම වරායක් සෑදී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මිස වාහන දිගුකාලීනව ගබඩා කර තැබීම සඳහා නොවෙයි. මාස ගණනක් හෝ වසර ගණනක් වරායේ රැඳී සිටින සෑම වාහනයක්ම නව භාණ්ඩ හැසිරවීමට අවශ්‍ය වටිනා මෙහෙයුම් ඉඩකඩ අත්පත් කරගෙන සිටිනවා. එය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්රයේ අඛණ්ඩ වර්ධනයටද සෘජුව බලපානවා" යැයි HIPG හි වාණිජ හා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා පැවසීය.
කලාපයේ බොහෝ වරායන්ට සාපේක්ෂව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වඩාත් පාරිභෝගික හිතකාමී ගබඩා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද HIPG සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා දින 10ක නොමිලේ ගබඩා කාලයක් ලබාදෙන අතර, ගබඩා ගාස්තු අය කෙරෙන්නේ 11 වැනි දින සිටය.
ප්‍රතිඅපනයන වාහන සඳහා දින 21ක නොමිලේ ගබඩා කාලයක් ලබාදී ඇති අතර, ගාස්තු අය කිරීම ආරම්භ වන්නේ 22 වැනි දිනෙන් පසුවය. HIPG හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළමනාකරණය භාර ගැනීමට පෙර මෙම නොමිලේ ගබඩා කාලය දින තුනකට පමණක් සීමා වී තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.
වාහන නිෂ්කාශනය ප්‍රමාද වීමට බොහෝවිට ලියකියවිලි සම්පූර්ණ කිරීමේ ප්‍රමාද, බැංකු ක්‍රියාවලි, මූල්‍ය පහසුකම් සහ වරායේ පාලනයෙන් බැහැර වෙනත් පරිපාලනමය කරුණු හේතු වන බව HIPG පෙන්වා දෙයි. එවැනි අවස්ථාවල වාහන දිගුකාලයක් වරායේ රැඳී සිටීම හේතුවෙන් ගබඩා ඉඩකඩ අවහිර වන අතර, අඛණ්ඩව ඉහළ යන රෝ-රෝ (RoRo) වාහන පරිමාව හැසිරවීම සඳහා අවශ්‍ය මෙහෙයුම් ධාරිතාවටද බලපෑම් එල්ල වන බවද එම නිවේදනයේ සඳහන් වේ.
HIPG වැඩිදුරටත් අවධාරණය කරන්නේ ගබඩා ගාස්තු යනු වරායේ සීමිත ඉඩකඩ කාර්යක්ෂමව භාවිත කිරීම සහ භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීම දිරිගැන්වීම සඳහා යොදාගන්නා කළමනාකරණ මෙවලමක් මිස ආදායම් ඉපැයීමේ ක්‍රමවේදයක් නොවන බවයි.
වාහන ආනයන සීමා සහ ඉන් අනතුරුව ඇති වූ දේශසීමා ආශ්රිත බාධාකාරී තත්ත්වයන් තුළ වාහන දහස් ගණනක් මාස ගණනාවක් වරායේ රැඳී තිබියදී, ඒවා නැවත ප්‍රතිඅපනයනය කළද හෝ ශ්‍රී ලංකාව තුළ නිෂ්කාශනය කළද, සැලකිය යුතු ඩෙමරේජ් සහ ගබඩා ගාස්තු සහන ලබාදීමට HIPG කටයුතු කළේය.
ඒ සඳහා වරාය සැලකිය යුතු මූල්‍ය පිරිවැයක් දරා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එසේම ගල්ෆ් කලාපයේ මෑතකාලීන තත්ත්වය හේතුවෙන් වාහන ප්‍රතිඅපනයනයට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී, වාහනවල වටිනාකමට සාපේක්ෂව ගබඩා ගාස්තු අසාධාරණ ලෙස ඉහළ නොයන ලෙස විශේෂ ගාස්තු සීමා (Storage Cap) ක්‍රමවේදයක්ද හඳුන්වා දීමට HIPG කටයුතු කළේය.
"මෙවැනි පියවරවලින් පැහැදිලි වන්නේ අසාමාන්‍ය තත්ත්වයන් තුළ පාරිභෝගිකයන්ට සහාය ලබාදෙන අතරම වරායේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමට අප කැපවී සිටින බවයි. අපගේ අරමුණ සෑම විටම ගබඩා ගාස්තු මත ආදායම් ඉපැයීම නොව, භාණ්ඩ හැසිරවීම සහ සැපයුම් දාම සේවා මඟින් වටිනාකමක් නිර්මාණය කිරීමයි" යැයි බින්දු රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගබඩා ගාස්තු සහන, විශේෂ සහන සහ වෙනත් විශේෂ පහසුකම් සම්බන්ධ සියලු තීරණ එක් එක් අවස්ථාවේ පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වරායේ කළමනාකාරීත්වය විසින් තනි තනිව සලකා අනුමත කරන බවද HIPG පැවසීය.
එමෙන්ම දීර්ඝකාලීනව වරායේ රැඳී ඇති වාහන සම්බන්ධයෙන් පවතින කරුණු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව, ආනයනකරුවන් සහ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ සමීපව කටයුතු කිරීමට HIPG සිය කැපවීම යළිත් අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ වෙළෙඳාම හා ආර්ථික වර්ධනයට අවශ්‍ය කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවාහය අඛණ්ඩව පවත්වාගෙන යාමටද කැපවී සිටින බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
