ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්.)සමාගම, EAP ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් (පුද්.) සමාගම සහ EAP බ්‍රෝඩ්කාස්ටින් කම්පනි (පුද්.) සමාගම යන සමාගම් බෙන් හෝල්ඩින්ස් (පුද්.) සමාගම සහ බ්ලූසමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම යන සමාගම් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් පළවන ඇතැම් වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ETI ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කරයි.
ඉහත සමාගම් සහ අදාළ වත්කම් පෞද්ගලික හිමිකාරීත්වයන් යටතේ පවතින අතර, ඒවා අලෙවිය මගින් ලැබෙන මුදල් තැන්පතුකරුවන්ගේ හිඟ මුදල් ගෙවීමට භාවිත කරනු ලබන්නේය යන කොන්දේසියට යටත්ව, ඒවායේ අලෙවිය සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය සපුරාම එහි අයිතිකරුවන් සතු බව ඔවුන් කියයි. මෙහිදී අලෙවිය තුළින් උපරිම වටිනාකමක් ලබාගෙන, ETI ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණ බවද පෙන්වා දෙයි.
ETI සමාගමේ වත්කම් අලෙවි කිරීම ආරම්භ වූයේ 2015 වසරේදී බවත්, මිල ගණන් සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතියද ස්ථාවර මිල ගණන් ඉදිරිපත් කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් හිමිකරුවන් විසින් අදාළ ගැනුම්කරුවන් සමග සාකච්ඡා කිරීමක් සිදුනොවූ බවත් ඔවුන් කියයි. 2017 දෙසැම්බර් 19 වැනි දින ශ්‍රී ක්රිෂ්ණ ඉන්වෙස්ට්මන්ට්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් ඇ.ඩො.මිලියන 61කට සමාන වටිනාකමකින් යුත් මිල ප්‍රකාශයක් ඉදිරිපත් කරනලද බවත් පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමසීම්වලදී පෙනී ගියේ අදාළ සමාගම ඒ වනවිටද සංස්ථාගත කෙරෙමින් පැවතුණු බව (තවමත් එය පවතිනුයේ එම තත්ත්වයේය) සහ ඊට පැහැදිලිව හඳුනාගත හැකි මූල්‍යමය පසුබිමක් නොමැති බවද ඔවුන් කියයි. එම නිසා අදාළ ඉල්ලීම නොසලකා හැරීමට තමන් තීරණය කළ බව ETI සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී තිබේ.
2017 දෙසැම්බර් මාසයේදී වර්තමාන හිමිකරුවන් විසින්අදාළ සමාගම් සහ එම සමාගම්වල දේපළ මිලදී ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළ බවත්, එහිදී ඉල්ලීම ඉදිරිපත් වූයේ ETI සමාගම නොව එහි වත්කම් මිලදී ගැනීම සඳහා වන අතර, ඒ අනුව ඒ සම්බන්ධ මූලික කටයුතු ආරම්භ වූ බවද කියයි.
ETI සමාගමේ හිමිකරුවන්, ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟපෙන්වීම යටතේ, නව හිමිකරුවන්ගේ නියෝජිතයන් සමග වැදගත් සාකච්ඡා ආරම්භ කළ අතර, සද්භාවය ප්‍රකාශ කිරීමක් ලෙස තැන්පත් කරන ලෙස ඉල්ලූ රු.මිලියන 400ක මුදල ගෙවීමට ඔවුන් කටයුතු කළ බවද කියයි. මූලික මූල්‍ය සහ නීතිමය කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අවසන් මිල සඳහා එකඟතාවකට පැමිණෙනලද බවත්, ඒ අනුව, වර්තමානය වනවිට, නව හිමිකරුවන් ඇ.ඩො.මිලියන 54ක මුදලක් ගෙවා ඇති බවත් කියයි. මේ තාක් ලැබුණු සමස්ත මුදල ETI වෙත ගෙවා ඇති අතර, එම මුදල් තැන්පතුකරුවන්ගේ හිඟ මුදල් පියවීම සඳහා භාවිත කර කළ බවත්, ගනුදෙනුවෙහි ඉතිරි මුදල මෙම මාසය අවසාන වීමට පෙරා ගෙවා නිමකරනු ලබනු ඇති බවත් පෙන්වා දෙයි.
බ්ලූසමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම සමග අවසන් එකඟතාවට පැමිණීමට පෙර, පරීක්ෂාවන් සඳහා අවශ්‍ය සියලූම ලිපිලේඛන ශ්‍රී ලංකා මහ බැංකුව සහ සිය බැංකු වෙත ඉදිරිපත් කරන ලද බවත් ඔවුන් කියයි. වත්මන් හිමිකරුවන් සමග අත්සන් තබන ලද සියලුම ගිවිසුම්වලට එලෙස අත්සන් තබන ලද්දේ නියාමන ආයතන වෙතින් නිසි අවසරය ලැබීමෙන් අනතුරුව බවත්, බ්ලූසමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම අසාධු ලේඛනගත සමාගමක් බවට හෝ එය අතීතයේ කිසියම් අවස්ථාවක් එලෙස පැවති බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවද ඔවුන් පෙන්වා දෙයි. සමස්ත ගනුදෙනුව සහ ඒ සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති සියලූම ගෙවීම්, මුදල් විශුද්ධිකරණයට එරෙහි දැඩි විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ සමීප අධීක්ෂණයට ලක්වී ඇති බවද ඔවුන් පවසයි.
මෙම සමස්ත ගනුදෙනුව ශ්‍රී ලංකාවේ නීතිරීති අනුව සිදුකෙරුණු බව ඔවුන් අවධාරණය කරන අතර, මෙම ගනුදෙනුව සිදුවනු දැකීමට අකමැති සහ තැන්පතුකරුවන්ගේ යහපත සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොමැති පුද්ගලයන් විසින් කරනු ලබන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවද ඔවුන් කියයි. නව හිමිකරුවන් විසින් කරනලද මෙම කාලීන ආයෝජනය නිසා තැන්පතුකරුවන් මුහුණදුන් ගැටලුවට යම්කිසි සහනයක් ලබාදීමට හැකි වූවා මෙන්ම, දුෂ්කර තත්ත්වයක පැවති ව්‍යාපාරයක් යළි ස්ථාවරකරමින්, සමාගම් කිහිපයක සේවය කළ 850කට අධික පිරිසකගේ රැකියා සුරක්ෂිත කිරීමටද හැකිවී ඇති බව මෙහිදී පෙන්වාදිය යුතු යැයිද ඔවුන් වැඩිදුරටත් පවසයි.