වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මවු සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.
වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්.පී.එල්. ප්‍රොපර්ටීස් ගෘප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හෙටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත.
ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හෙටේල් ප්රෙපර්ටීස් ලිමිටඩ් සමාගම සමග සාකච්ඡා ගණනාවක් සිදුකරන ලද බවත්, ඒ අනුව, වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර, තක්සේරු ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් පවතින් බවත් පෙන්වා දෙයි.
සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලබාදීම සඳහා එකී ආයෝජනයෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අරමුදලට ලැබීම සහතික කරනු පිණිස, වැලිගම හොටේල්ස් ප්‍රොපර්ටීස් ලිමිටඩ් හි සිදුකර ඇති ආයෝජනයෙන් ඉවත් වීමට පෙර, එහි වටිනාකම තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයකින් ලබාගන්නා තක්සේරුවක් අත්‍යවශ්‍ය බවද මහ බැංකුව පවසයි.
එබැවින්, සේවක අර්ථසාධක අරමුදල මෙම ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවද අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.