CSE සහ අබුඩාබි සුරැකුම්පත් හුවමාරුව අතර අවබෝධතාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සහ අබුඩාබි සුරැකුම්පත් හුවමාරුව (ADX) අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් විශේෂ අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹ තිබේ.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මඟින් දැනුම හුවමාරු කරගැනීම, ගනුදෙනු තාක්ෂණයන් සහ පශ්චාත් ගනුදෙනු යටිතල පහසුකම් ප්‍රවර්ධනය මෙන්ම අන්‍යෝන්‍ය වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ අවස්ථාවන් ගවේෂණය කිරීමට නියමිතය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ප්‍රමුඛතම ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව අතරතුර, අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය විසින් ආරම්භ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම සාර්ථකව අත්සන් තැබීමට හැකි වී ඇත.
මෙම ගිවිසුම හරහා දෙරටේ කොටස් වෙළෙඳපොළ ආයතන දෙකටම අදාළ වෙළෙඳපොළ විශේෂඥතාව හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවන අතර, විද්‍යුත් ගනුදෙනු පද්ධති (Electronic trading systems), කොටස් හුවමාරු ගනුදෙනු (Exchange trading), තාක්ෂණික යටිතල පහසුකම්, වෙළඳපොළ නිරීක්ෂණ කටයුතු (Market surveillance), බේරුම්කරණ කාර්යයන් (Clearing functions) සහ පශ්චාත් ගනුදෙනු හැකියාවන් (Post-trading capabilities) යන ක්ෂේත්රයන් හි සමීපව කටයුතු කිරීමට නියමිතය.
මීට අමතරව, හුවමාරු වෙළඳ අරමුදල් (ETFs) සහ ව්‍යුත්පන්නයන් (Derivatives) වැනි නව නිෂ්පාදන පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමටත්, ඒකාබද්ධ සම්මන්ත්රණ, වැඩමුළු සහ අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීමටත් ආයතන දෙකම සැලසුම් කර ඇත.
මෙම ගිවිසුම මඟින් කොළඹ කොටස් වෙළෙඳපොළට අබුඩාබි හි ප්‍රථම ඩිජිටල් හුවමාරු ජාලය වන ‘තබාදුල් හබ්’ (Tabadul Hub) සමඟ එක්වීමට ඇති අවස්ථා ගවේෂණය කිරීමටද හැකියාව ලැබෙනු ඇත. මැදපෙරදිග සහ ගෝලීය වශයෙන් සහභාගී වන කොටස් වෙළෙඳපොළවල් අතර අන්‍යෝන්‍ය වෙළෙඳපොළ ප්‍රවේශය සහ ගනුදෙනු සම්බන්ධතාව සපයන මෙම ජාලය හරහා, ශ්‍රී ලාංකේය ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ප්‍රවේශය තවදුරටත් පහසු වන අතරම, ප්‍රාදේශීය සහ ගෝලීය වෙළෙඳපොළවල් සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලාංකේය ආයෝජකයන්ටද නව අවස්ථා උදා වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
