ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ, 2016 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වූ මෝස්තර නිර්මාණ තරගාවලියේ ත්‍යාග හා සහතික ප්රදානෝත්සවය, පසුගිය 07 දා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය මෙහි සම අනුග්රාහකයන් ලෙස කටයුතු කරනු ලැබීය.
ඉදිරිපත් කර තිබූ නව මෝස්තර නිර්මාණ අතරින් ජයග්‍රාහකයන් සඳහා රන්, රිදී, ලෝකඩ සම්මාන හතර බැගින්ද, සම්භාණ්ඩ, කාන්තා පාවහන්, පිරිමි පාවහන් හා විශේෂ අංශය යටතේ තෝරාගත් හත් දෙනා බැගින් වූ ජයග්‍රාහකයන් වෙත කුසලතා සහතික පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.
සම්භාණ්ඩ අංශයේ රන් සම්මානය, සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ආයතනයේ අෂාන්ති මංගලිකා කරුණාතිලක විසින් හිමිකර ගන්නා ලදී. පිරිමි පාවහන් අංශයේ, කාන්තා පාවහන් අංශයේ හා විශේෂ අංශයේ රන් සම්මාන තුනම, කැට්වෝක් ෂූ ආයතනයේ ලලිත් රෝහණ සිල්වා විසින් දිනාගැනීම විශේෂත්වයක් විය.
සම්භාණ්ඩ අංශයේ රිදී සම්මානය, කැට්වෝක් ෂූ ආයතනයේ ලලිත් රෝහණ සිල්වාට හිමිවූ අතර, කාන්තා පාවහන් අංශයේ රිදී සම්මානය හිමිවූයේ, සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට් ආයතනයේ සංජීවනී රත්නායක වෙතය. පිරිමි පාවහන් අංශයේ රිදී සම්මානය, ගයිඩ් වෙයාර් ආයතනයේ රෙෂාන් සංකල්ප විසින්ද, විශේෂ අංශයේ රිදී සම්මානය, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය හා රංග කලා පීඨයේ රෙදිපිළි හා ඇඟලුම් අධ්‍යයන අංශයේ ඉෂාරා මධුෂානි විසින්ද දිනාගන්නා ලදී.
එමෙන්ම, සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට් ආයතනයේ, ක්‍රිෂානි සංජීවනී විසින් සම්භාණ්ඩ අංශයේ ලෝකඩ සම්මානයද, කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය හා රංග කලා පීඨයේ රෙදිපිළි හා ඇඟලුම් අධ්‍යයන අංශයේ, මධුශංක ජයකොඩි විසින් කාන්තා පාවහන් අංශයේ ලෝකඩ සම්මානයද හිමිකර ගන්නා ලදී. පිරිමි පාවහන් අංශයේ ලෝකඩ සම්මානය, සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට් ආයතනයේ, තනුජා දිල්රුක්ෂි විසින්ද, විශේෂ අංශයේ ලෝකඩ සම්මානය, එම ආයතනයේ, ඉෂාරා මධුෂානි රත්නසිරි විසින්ද දිනාගන්නා ලදී. මීට අමතරව, හොඳම ප්‍රදර්ශන කුටියට හිමි සම්මාන හිමිකර ගත්තේ සුපුන් ඒරොසොෆ්ට් පෞද්ගලික සමාගම විසිනි.