හම්බන්තොට වරායෙන් එකම මාසයේ වාර්තා දෙකක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ඉකුත් ජුනි මාසයේදී වාහන 90,219ක් සහ බහාලුම් ඒකක (TEU) 80,325ක් මෙහෙයවමින් අංශ දෙකෙන් ඉහළම මාසික වාර්තා පිහිටුවා තිබේ.
වරායේ වේගයෙන්ම වර්ධනය වන ව්‍යාපාරික අංශ දෙක වන වාහන ප්‍රතිනැව්ගත කිරීම සහ බහාලුම් මෙහෙයුම් එකම මාසයක් තුළ මෙලෙස වාර්තාගත මට්ටමකට පැමිණ ඇත.
මැදපෙරදිග නැව් මාර්ගවල ඇති වූ අවිනිශ්චිතතාව හමුවේ, අමතර භාණ්ඩ ප්‍රමාණ මෙහෙයවීමට වරාය කල්තියා සූදානම් වීම සහ නැව් සමාගම් හා භාණ්ඩ හිමිකරුවන් සමඟ සෘජුව කටයුතු කිරීම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූ බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පවසයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත තත්ත්වය අවිනිශ්චිත වීමත් සමඟ සැපයුම් ජාලවලට ඇතිවිය හැකි බාධා කල්තියා හඳුනාගත් වරාය, අමතර භාණ්ඩ භාර ගැනීමට අවශ්‍ය ධාරිතාව සැලසුම් කර, පාරිභෝගිකයන්ට අඛණ්ඩ සේවා සැපයිය හැකි බවට සහතික වීම තුළින්, නැව් සමාගම් සහ භාණ්ඩ හිමිකරුවන් විකල්ප සොයමින් සිටි අවස්ථාවක වරාය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට සමත් විය. එමෙන්ම ඉලක්කගත වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන් සහ පාරිභෝගිකයන් සමඟ සෘජු සබඳතා මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත බඩුතොග ආකර්ෂණය කර ගැනීමට හැකිවීම ද ජුනි මාසයේ වාර්තාගත ප්‍රතිඵලයට දායක වී ඇත.
“ජුනි මාසයේ ප්‍රතිඵලය මෙහෙයුම් ප්‍රමාණය ඉහළ යාමකට පමණක් සීමා වන්නේ නැහැ. වෙනස්වන තත්ත්වයන් කල්තියා හඳුනාගෙන, පාරිභෝගිකයන්ට විකල්ප අවශ්‍ය වන අවස්ථාවේ ඒ සඳහා සූදානමින් සිටීමේ වැදගත්කම එයින් පෙන්නුම් කරනවා” යැයි HIPG ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා පැවසීය.
“අවිනිශ්චිත කාලයකදී අවශ්‍ය ධාරිතාව සහ විශ්වාසනීය සේවාවක් ලබාදිය හැකි බවට පාරිභෝගිකයන් තුළ විශ්වාසය ගොඩනැගීම අපගේ අරමුණ වුණා. වාහන සහ බහාලුම් යන අංශ දෙකෙන්ම ලැබුණු වාර්තාගත ප්‍රතිඵල, එම සූදානම දිගුකාලීන වර්ධනයක් බවට පත්වෙමින් තිබෙන බව පෙන්නුම් කරනවා” යැයි ඔහු සඳහන් කළේය.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සමස්ත භාණ්ඩ මෙහෙයුම් ප්‍රමාණය 2025 වසරේදී සියයට 175කින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් මිලියන 8.24ක් දක්වා ළඟා විය. 2024 වසරේ බහාලුම් ඒකක 53,169ක් වූ මෙහෙයුම් ප්‍රමාණය 2025දී ඒකක 428,036ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වර්ධනය වන ඉල්ලුමට මුහුණ දීම සඳහා වරාය මේ වසර මුලදී සිය වාහන අංගන ධාරිතාව දෙගුණ කළ අතර, බහාලුම් අංගන ධාරිතාව සියයට 30කින් පුළුල් කළේය. වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව ඒකක මිලියන දෙකක් දක්වා ඉහළ නැංවීම සඳහා නව උපකරණ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 108ක් ආයෝජනය කර තිබේ.
මේ අතර, ඉකුත් අප්‍රේල් මාසයේදී MSC Marie Leslie නෞකාවෙන් බහාලුම් ඒකක 13,260ක් මෙහෙයවමින් එක් නෞකාවකින් මෙහෙයවූ ඉහළම බහාලුම් ප්‍රමාණය පිළිබඳ වාර්තාව ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිහිටුවීය.
ලොව ප්‍රධාන නැගෙනහිර-බටහිර නැව් මාර්ගයට නාවික සැතපුම් 10ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වාහන සහ බහාලුම් මෙහෙයුම්වලට අමතරව තොග භාණ්ඩ, සාමාන්‍ය භාණ්ඩ, නාවික සේවා සහ බලශක්ති මෙහෙයුම්වල ද නිරත වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
