ශ්රී ලංකාවේ ප්රථම ඒකාබද්ධ බැංකු හා කොටස් වෙළෙඳපොළ වේදිකාව එළිදකී
මහජන බැංකුව, ශ්රී ලාංකේය ඩිජිටල් බැංකුකරණයේ නව මං සලකුණක් තබමින්, සිය People's Pay Mobile wallet app යෙදවුම හරහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, ආයෝජන හා සියලු බැංකු කටයුතු සිදුකිරීමේ පහසුකම් සැලසීමට Lanka Securities (Pvt) Ltd සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කරයි.
දේශීය වෙළෙඳපොළ තුළ ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යන ද්විත්වයම එකම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව ලබාගැනීමේ හැකියාව ලබාදෙන ප්රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම නව හඳුන්වාදීමත් සමඟ, 'People's Pay' භාවිත කරන්නන්ට දැන් එකම යෙදවුමක් හරහා තම බැංකු ගිණුම් සහ CDS ගිණුම් අතර මුදල් හුවමාරු කර ගැනීමට, නව CDS ගිණුම් විවෘත කිරීමට, බැංකු ගිණුම් ශේෂයන්ට අමතරව තම ආයෝජනයන් පිළිබඳ තොරතුරු පරික්ෂා කිරීමට සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉතාමත් පහසුවෙන් කළමනා කරණය කර ගැනීමටත් හැකියාව සැලසේ.
මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීම පසුගියදා කොළඹ 02, 'පීපල්ස් ටවර් ' ශ්රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ, ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ගිලියන් එඩ්වඩ්ස්, ආචාර්ය ගිෂාන් ඉලංගකෝන්, ප්රධාන විධායක නිලධාරි/සාමාන්යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර. ප්රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක, Lanka Securities (Pvt) Ltd ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ කෝසල ගමගේ යන මහත්ම මහත්මින්, බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, ආයතනික නායකයින්, බැංකු හා ප්රාග්ධන වෙළෙඳපොළේ පුමුඛයින්, විශේෂ ආරාධිත අමුත්තන් සහ නිලධාරින් සහභාගි වූහ.
මේ පිළිබඳව අදහස් දැක් වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ මහතා, "මහජන බැංකුව නිරන්තරයෙන්ම ජාතික, ආර්ථික වැදගත්කමකින් යුත් වැඩසටහන්වලදී පෙරමුණ ගෙන කටයුතු කරනවා. රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සමගාමීව අර්ථවත්, ප්රායෝගික සහ ඒකාබද්ධ විසඳුමක් හඳුන්වා දීම තුළින්, රටේ ඩිජිටල් ගමනට නායකත්වය දීමට තමන් සතු හැකියාව සහ කැපවීම මහජන බැංකුව විසින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. මෙම පියවර සියලුම ශ්රී ලාංකිකයින්ට පහසුවෙන් ප්රවේශ විය හැකි සහ එහි ප්රතිලාභ අත්විඳිය හැකි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට මනා පිටුවහලක් වනු ඇති" යනුවෙන් පවසා සිටියේය.
මේ පිළිබඳ අදහස් දැක් වූ මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරි/ සාමාන්යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, "මෙය ශ්රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රය පරිවර්තනය කිරීම සඳහා වන අප ගමන් මගේ සුවිශේෂ පියවරක්. ශ්රී ලංකා සුරැකුම්පත් ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් ගනුදෙනුකරුවන්ගේ පහසුව පමණක් නොව, ඒකාබද්ධ විසඳුම් හරහා ඔවුන්ව මූල්යමය වශයෙන් සවිබල ගැන්වීමට අප තුළ ඇති කැපවීම වඩාත් තහවුරු වෙනවා" යැයි සඳහන් කළේය.
මෙම සහයෝගිතාවය තුළින් ආයතනයන් සහ ගනුදෙනුකරුවන් යන දෙපිරිසටම ප්රතිලාභ හිමි වේ. මහජන බැංකුව වශයෙන් ගත් කළ, ඒකාබද්ධ වෙළඳ ක්රියාකාරකම් තුළින් ලැබෙන ආදායම් කොටස හරහා නව ආදායම් ප්රවාහයක් විවෘත වන අතර, එමගින් බැංකුවේ වෙළෙඳපොළ ස්ථාවරත්වය තවත් ශක්තිමත් වනු ඇත.
එමෙන්ම, ගනුදෙනුකරුවන්ට කොටස් ආයෝජන, ඉහළ ද්රවශීලතාවය, ආයෝජන විවිධාංගීකරණය සහ ඔවුන්ගේ ජංගම දුරකථන හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට සෘජුවම ප්රවේශ වීමේ හැකියාව ලැබේ. තවද, Lanka Securities Pvt Ltd (LSL) හි CDS ගිණුමක් නොමැති People's Pay පරිශීලකයින්ට එම යෙදවුම හරහා ගිණුමක් විවෘත කර, ඔවුන්ගේ කොටස් වෙළෙඳපොළ කටයුතු බාධාවකින් තොරව ආරම්භ කළ හැක.
මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්රී ලංකා සුරැකුම්පත් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ කෝසල ගමගේ මහතා, "මහජන බැංකුව වැනි විශ්වාසනිය ආයතනයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. අපගේ ඒකාබද්ධ ශක්තීන් හා හැකියාවන් සමඟින් පහසුව, විනිවිදභාවය සහ නව අවස්ථාවන්ගෙන් සමන්විත පුළුල් මූල්ය පද්ධතියක් නිර්මාණය වනු ඇති අතර, ඒ හරහා දහස් ගණනක් වූ ශ්රී ලාංකිකයන්ට කොටස් වෙළඳපොළ ආයෝජන සඳහා ප්රවේශ වීමේ අවස්ථාව සැලසෙනු ඇති" යනුවෙන් සඳහන් කළේය.
Lanka Securities Pvt Ltd සතු ශක්තිමත් වෙළෙඳපොළ සහ පර්යේෂණ හැකියාවන් මෙන්ම, මහජන බැංකුව සතු පුළුල් ගනුදෙනුකාර පදනම සහ ඩිජිටල් බැංකුකරණයෙන් බලගැන්වෙන මෙම ඒකාබද්ධ කිරීම තුළින් ඒකාබද්ධ ආයෝජන නිෂ්පාදන, මූල්ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අධ්යාපනික මෙවලම් සහ තත්ය කාලීන ආයෝජන එකතුව කළමනාකරණ යන විශේෂාංග ඇතුළු තවත් මූල්ය නවෝත්පාදන රැසක් සඳහා මූලික පදනම නිර්මාණය වී ඇත.
1989 වසරේදී ආරම්භ කරන ලද Lanka Securities Pvt Ltd සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ බලපත්රලාභී සාමාජිකයෙකු මෙන්ම ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමකි. ක්රියාකාරි සහ පළපුරුදු අලෙවි කණ්ඩායමකින් සමන්විත මෙම සමාගම, දේශීය හා විදේශීය මෙන්ම සිල්ලර, ඉහළ වත්කම් හිමි සහ ආයතනික ගනුදෙනුකරුවන් වෙත පුද්ගලීකරණය කළ සහ නව්ය ආයෝජන විසඳුම් ලබාදෙයි. ලංකා බැංකුව, ශ්රී ලංකා මර්චන්ට් බැංකුව සහ ෆස්ට් කැපිටල් සිකියුරිටීස් කොපරේෂන් (පාකිස්ථානය) යන සමාගම්වලින් සමන්විත Lanka Securities Pvt Ltd සමාගම, එහි කොටස් හිමිකරුවන් සතු ශක්තිමත් ආයතනික මූල්ය විශේෂඥතාවේ සහාය ලබන අති නවීන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ පුළුල් පර්යේෂණ අංශයකින් සමන්විත, පූර්ණ ඒකාබද්ධ වෙළඳ අත්දැකීමක් ගනුදෙනුකරුවන්ට පිරිනමයි.
ශ්රී ලංකාවේ ප්රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්රිලියන 3.7කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්යස්ථාන 746ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300කට අධික ප්රමාණයක් සමඟින් මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාව සපයයි. මෙරට ඩිජිටල් බැංකු කරණයේ ප්රමුඛයා වන මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් මිලියන 4කට අධිකය. එමෙන්ම නවෝත්පාදනය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ISO/IEC 27001:2022 සහතිකය හිමි කරගෙන ඇති අතර, එම සහතිකය හිමිකර ගත් මෙරට ප්රථම රාජ්ය බැංකුව මහජන බැංකුවයි. ගනුදෙනුකාර දත්ත සුරක්ෂිත කිරීමට සහ නියාමන අවශ්යතාවලට අනුකූලව කටයුතු කිරීමට බැංකුව තුළ ඇති කැපවීම මේ තුළින් මගින් මනාව පිළිඹිබු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

