ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ජාතික අලෙවි සම්මේලනය 2018 දියත් කරන බව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කළේය. 18 වැනි වරට පැවැත්වෙන මෙම සම්මේලනය රට තුළ ක්‍රියාත්මක අලෙවි බලකායේ කාර්ය සාධනය හඳුනා ගෙන සම්මාන පිරිනැමීම සිදුකරන අතර, 2018 සම්මාන සඳහා ඇතුළත් වීමට දැන් ඔබටත් අවස්ථාව උදාවී තිබේ. ඒ සඳහා තම අයැදුම් පත් 2018 මැයි 18 වැනි දිනට පෙර එවන ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය දිවයිනේ සෑම ආයතනයකම සිටින විශිෂ්ට අලෙවිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ජාතික මට්ටමේ උත්සවයක් වන SLIM NASCO යනු රට තුළ පවත්නා වෙනත් අලෙවි සම්මාන උළෙලවලින් මුළුමනින්ම වෙනස් වූවකි. එය ප්රදානය කරන සම්මානවල එක් ප්‍රධාන වැදගත්කමක් ලෙස අලෙවි කාර්යය මාණ්ඩලිකයන් පෙළඹවීම, පුහුණු කිරීම, ඔවුන්ට ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම සහ ඔවුන් තුළ ස්වයං සංවර්ධන හැකියාව ඇති කිරීම දක්වා සිටියි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති ප්‍රදීප් එඩ්වඩ් මහතා, "SLIM NASCO සම්මානයක් ජයගැනීම ශ්‍රී ලාංකේය ආර්ථික ව්‍යුහය තුළ පිළිගැනීමට ලක්වීම සඳහා අත්‍යවශ්‍යම මෙවලමක් බවට පත්ව තිබෙනවා. ඇල්මක් දක්වන දක්ෂතාවලින් පිරිපුන් තරුණයන් වෘත්තියට ආකර්ෂණය කරගෙන ශ්‍රී ලංකාවේ අලෙවිකරණ වෘත්තිය තුළ පෙළඹවීම ඇති කරන්නත්, අලෙවි වෘත්තියට ඇති පිළිගැනීම නංවාලන්නත් අපට අවශ්‍යයි. SLIM NASCO 2018 අලෙවිකරණ වෘත්තිය තුළ අවධානය හා අභිමානය පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කරාවි. සම්මාන උළෙලකට සහභාගි වනවාට වඩා වැඩි අත්දැකීමක් වෘත්තිකයන්ට ලබාදේවි" යැයි පවසා සිටියේය.
සෑම වසරකදීම මෙන් SLIM NASCO 2018 දීද සම්මාන ප්‍රදානයෙන් පසුව රට තුළ සිටින ප්රමුඛ අලෙවි හා අලෙවිකරණ වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මෙහෙය වන වැඩමුළුවක්, සහභාගී වන සෑම අලෙවිකරුවන් වෙතම පිරිනැමෙන බවද සඳහන් විය.
මේ වසරේදීද කාර්මික අංශ 22ක් යටතේ නාම යෝජනා කැඳවනු ලබයි. ප්‍රථම වතාවට ප්‍රධාන කාණ්ඩ 06ක් යටතේ සම්මාන කාණ්ඩගත කරනු ලබයි. එනම්, සමාගමේ කළමනාකරණ ශ්‍රේණියට අයත් ප්‍රාදේශීය කළමනාකරුවන්, අලෙවි විධායකයන් හා අලෙවි අධීක්ෂකවරුන්, පාරිභෝගිකයන් සමග ඍජුව ගනුදෙනු කරන සහ ප්‍රධාන වගකීම් දරන ප්‍රධානීන් සහ මේ වසරේදී අලුතෙන් හඳුන්වා දෙන ක්ෂේත්‍ර තුනක් වන, පාරිභෝගිකයන් සමග අලෙවියේදී ඍජුව සම්බන්ධ නොවන නමුත් අලෙවි කටයුතුවලට සහාය දෙන කළමනාකරණ වෘත්තිකයන් වන අලෙවි සහාය කළමනාකරුවන් සහ සමාගමේ සමස්ත අලෙවි කටයුතු අධීක්ෂණය කරන සහ අලෙවි ක්‍රමෝපාය වර්ධනය කිරීම සම්බන්ධ වගකීම දරන අලෙවි කළමනාකරුවා/ජාතික අලෙවි කළමනාකරුවා/අලෙවි සාමාන්‍යාධිකාරීවරයා වශයෙනි.
SLIM NASCO 2018 තරගාවලියට ඇතුළත් වීමට අවශ්‍ය කරන අයැදුම් පත් ඇතුළු ලියකියවිලි www.nasco.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ