(ඇඩ්වොකාටා හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු විසිනි)
මේ දවස්වල බලන බලන තැන තියෙන්නේ මැති ඇමතිලාගේ වත්කම් ප්‍රකාශ ගැන කතා. ඔය විදිහට දේශපාලක පන්තිය තම තමන්ගේ වත්කම් ගැන වාද විවාද කරන අතරතුරේ, ශ්‍රී ලාංකේය ජාතියට තමන්ගේ සැබෑ වත්කම අමතක වෙලා ගිහින්. ඒ වෙන මුකුත් නෙවෙයි, ඉඩම්. ඉස්සරහට එන අයවැය ගැන කතාබහ කරද්දිවත් ආර්ථික වර්ධනය ගැන උනන්දු වෙනවා නම් අපි එතනදි මුල් තැන දෙන්න ඕනේ රටේ වැඩියෙන්ම ඌන උපයෝජනයට ලක් වුණු භූමිය කියන සම්පතට.
ශ්‍රී ලංකාවේ ඉඩම් ගැටළුව අද ඊයේ ඇති වුණ දෙයක් නෙවෙයි. හාවඩ් වර්ධන විනිශ්ච අධ්‍යයනයත් ඇතුළු තවත් බොහෝමයක් අය හොයාගෙන තියෙනවා ලංකාවේ තියෙන දුර්වල දේපළ අයිතිවාසිකම් නිසා ඒක ආර්ථික වර්ධනයට සීමාවක් බාධාවක් වෙනවා කියලා. වනාන්තර සහ රක්ෂිත ඇතුළුව ඉඩම්වලින් 80%ක විතර අයිතිය තියෙන්නේ රජයට. රජයේ ආයතන සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන්නේ නිෂ්ක්‍රීය තත්ත්වයේ. ඒ කියන්නේ ඵලදායී භාවිතයක් ඇත්තේ නෑ. ඊට අමතරව පවුල් මිලියන ගාණක් සතුව පෞද්ගලික ඉඩම් තිබුණත්, ඒවා පවා බොහෝ විට ඵලදායී භාවිතයෙන් ඈත් වුණු නිෂ්ක්‍රීය ඉඩම්. ඒකට හේතුව වෙලා තියෙන්නේ පුද්ගලික අයිතිය හුදෙක් ඔප්පුවකට සීමා වෙලා තියෙන එකයි. ඒ ඇරුණම ඒවා ආරක්ෂිත, රාජ්‍ය අනුග්‍රහය ලබපු හිමිකම් විදිහට නම් පවතින්නේ නෑ.
මේ වෙනස තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඔප්පුවක් කියන්නේ ඉඩම් ගනුදෙනුවක ඉතිහාසය වාර්තා කරන ලියවිල්ල. ඒත් ඒකෙන් හිමිකාරිත්වය සහතික කරන්නේ නෑ. එකම ඉඩමට ඔප්පු කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක හිමිකාරිත්වය සම්බන්ධයෙන් තරඟයක් තියෙනවා. හැබැයි හිමිකම කියන්නේ ඊට වඩා වෙනස් තීරණාත්මක සාක්ෂියක්. ඒක රජය විසින් පිළිගන්න දෙයක්. ඉඩම ලියාපදිංචි කළාට පස්සේ ආරවුලක් ඇති කරන්න බෑ. ඒ සහතිකය මත කුටුම්භවලට සහ ව්‍යාපාරවලට ප්‍රශ්නයක් නැතිව විශ්වාසයෙන් ඒ ඉඩම්වල ආයෝජනය කරන්න, විකුණන්න හෝ ණයට ගන්න පුළුවන්කම ලැබෙනවා.
1998දී පටන් ගත්තු 'බිම් සවිය' වැඩසටහනේ අරමුණ වුණේ ශ්‍රී ලංකාව ඔප්පුවලින් හිමිකම් වෙතට ගෙන යන එක. දශක තුනකට ආසන්න කාලයකට පස්සේ, ඉඩම් කට්ටි මිලියන 16න් හිමිකම් මිලියනයකට වඩා නිකුත් කරලා තියෙනවා. අවුරුද්දකට හිමිකම් 50,000ක් නිකුත් කළොත් වත්මන් ක්‍රියාකාරීත්ව වේගය අනුව මේ වැඩේ ඉවර වෙන්න අවුරුදු 300ක් ගත වෙනවා. ඒ වෙද්දි ලෝකය දියුණු වෙලා ඉදිරියට ගිහින් තියෙයි. ඒත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි තවමත් බැංකු ළඟ පෝලිම්වල බලන් ඉන්නවා. මිනින්දෝරුවෝ දශක තුනක් පරණ ඔප්පු ඉතිහාසයන් එක්ක එක තැන පල් වෙනවා.
මේ දේවල්වල ප්‍රතිවිපාක අතිශයින් බරපතලයි. ආරක්ෂිත හිමිකම් නැතිව, බැංකු ණයක් ගන්න එක ලේසි නෑ. ණය දෙන අය ඒකට පසුබට වෙනවා. එතකොට ව්‍යාපාර පුළුල් කරන්න බෑ. ගොවීන්ට ප්රාග්ධනය හොයා ගන්න බැරි වෙනවා වගේම කුටුම්භ වංචාවලට ගොදුරු වෙනවා. හර්නාන්ඩෝ ද සෝටෝ කියපු ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, ශ්‍රී ලංකාව වාඩි වෙලා ඉන්නෙ, 'මැරුණු ප්‍රාග්ධනයක්̕' උඩ කියලා. මුදල් බවට හරවා නොගත්තු ධන සම්භාරයක් භූමිය වශයෙන් ලංකාවට තියෙන බව තමා ඒකේ අදහස.
ඉතිං ඇයි අපි මෙහෙම හිරවෙලා ඉන්නේ? අපේ නීතියම යල් පැන ගිය එකක්. ශ්‍රී ලංකාවේ තියෙන්නෙ සංකීර්ණ සම-හිමිකාරිත්වයක්. ඒ වගේම ආගමික සහ චාරිත්‍රානුකූල ඉඩම් තියෙනවා. සැකසුම් පිළිබිඹු නොකරන ටොරන්ස් පද්ධති මත පදනම් වුණ ආකෘතියක් තියෙන්නේ. ඒ වගේම ආයතන කොටස්වලට කැඩිලා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව කියන ආයතනය අතරේ වගකීම බෙදිලා ගිහින්. ඒ ආයතනවලට ඔවුන්ගේ නියෝගවලට අනුව වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා තනියෙන් වගකීමක් ගන්න පුළුවන් විදිහේ පසුබිමක් සලසන ක්‍රමයක් ඒ ආයතනවලට නෑ.
අවශ්‍ය ප්‍රමාණයට මිනින්දෝරු තනතුරුවල නිලධාරීන් නැති නිසා පද්ධතිය ඉතාමත් දුර්වල මට්ටමකයි තියෙන්නේ. ආරවුල් විසඳීමත් බිඳ වැටිලා. 2023 වෙද්දි ක්‍රියාත්මක වුණේ මැදිහත්වීමේ මණ්ඩලවලින් 11%ක් විතරයි. ඉඩම් මැනලා ගැසට් කරලා තියෙන තැන්වල පවා ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට හිමිකම් තියෙන්නේ අවිනිශ්චිතවයි.
මෙතන තියෙන්නේ නිකම්ම නිකම් අරමුදල් සැපයීමේ ගැටලුවක් නෙවෙයි. නායකත්ව ගැටලුවක්. කැබිනට් මණ්ඩලය ඉඩම් හිමිකම් ජාතික ප්‍රමුඛතාවයක් කියලා සලකන්නේ නැත්නම්, මේ තියෙන තත්ත්වය වෙනස් කරන එක ලේසි වෙන එකක් නෑ. දිගටම මේ තත්ත්වෙ මෙහෙම්ම තියෙයි.
2026 අයවැය කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන්න තියෙන හොඳම වෙලාව. ශක්තිමත් තීරණ තුනකින් මේ සෙල්ලම වෙනස් කරන්න පුළුවන්.
මුලින්ම කරන්න තියෙන්නේ, නීතිය නවීකරණය කරන එකන. නීතිමය කාර්ය සාධක බලකායක් මාස 12ක් ඇතුළත 1998 පනත නැවත කෙටුම්පත් කළ යුතු වෙනවා. එතනදි සම-හිමිකාරිත්වය, ආගමික සහ රජයේ ඉඩම් පැහැදිලිව වෙන් කරලා නිසි වන්දි යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න ඕන.
දෙවනියට කරන්න තියෙන්නේ කලින් තිබ්බ ඉඩම් අයිති ක්‍රමය වෙනුවට අලුත් හිමිකම් ක්‍රමයකට ඉඩම් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන එකයි. හැම විකිණීමක්ම, උකසක් හෝ උරුමයක්ම ස්වයංක්‍රීයව හිමිකම් ගනුදෙනුවක් බවට පත්වෙන්න ඕන. එතකොට අවුරුදු 15ක් ඇතුළත, ඉස්සර තිබුණ ඔප්පු ලේඛනය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්.
තුන්වෙනි කාරණේ තමයි, හිඟයන් පියවා ගැනීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය අරගෙන වඩා හොඳ අරමුදල් ක්‍රම භාවිත කිරීම. බලපත්‍රලාභී පෞද්ගලික මිනින්දෝරුවන් රජයේ අධීක්ෂණය යටතේ සම්බන්ධ කර ගන්න පුළුවන්කම තියෙනවා. රෙජිස්ට්‍රි සේවා වෙනුවෙන් ගෙවන සුළු ප්රමාණවල අමතර ගාස්තු සහ ගෙවන ලද වේගවත් විකල්ප මඟින් රජයේ අරමුදල් සඳහා ඇති අවශ්‍යතාවය අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම පැහැදිලි ප්‍රතිඵලයක් ලබා ගන්න නම්, පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අරමුදල් හරි පෞද්ගලික සමාගම් සමඟ ඇති හවුල්කාරිත්වයන්ගෙන් හරි සහය ලබා ගන්න පුළුවන්.
මෙම ප්‍රතිසංස්කරණවල ප්රතිලාභ ඒවායේ පිරිවැයට වඩා වැඩියි. බැංකු කියන විදිහට, ඉඩම් හිමිකම් මත පදනම් වුණු ණයක් ගන්න සතියක් ගත වෙද්දි, ඔප්පු මත පදනම් වුණු ණය ගන්න මාස දෙක තුනක් ගත වෙනවා. අපි මේ කතා කරන්නේ කාලය ඉතිරි කර ගැනීම ගැන විතරක්ම නෙවෙයි. ඒත් ප්‍රමාදයක් නිසා වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ගොවියෙකුට නියමිත වේලාවට බෝග වගා කරගන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයක් පුළුල් කරන්න සල්ලි නැතිව මාස ගාණක් බලන් ඉන්න වෙන්න පුළුවන්.
වැඳගත්ම දේ තමයි, ඔප්පුවකට කරන්න බැරි දේ හිමිකමකට කරන්න පුළුවන්. ඔප්පුවකට දෙන්න බැරි දේ හිමිකමකට දෙන්න පුළුවන්. ඒ ආරක්ෂාව, ණය සහ හිතේ නිදහස.
දේශපාලනඥයින්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක වෙනුවෙන් විකාශන කාලය නාස්ති කරන මේ මොහොතේ, ශ්‍රී ලාංකිකයන් ඇත්තටම බලන් ඉන්නේ තමන්ගේ සැබෑ වත්කම්, තමන්ගේ ඉඩම් හඳුනාගෙන ඒවා නිදහස් කරලා දෙනකම්. 'බිම් සවිය' වැඩසටහන වේගවත් කිරීම තාක්ෂණික අභ්‍යාසයක් නෙවෙයි. ඒක පරම්පරාවකට එක වතාවක් සිද්ධ වෙන ප්රතිසංස්කරණයක්. ඒක ආර්ථික වර්ධනයට, පුරවැසියන් බල ගැන්වීමට සහ ආර්ථිකයට අවශ්‍ය ජීවනාලිය ලබා දෙන්න පුළුවන් විදිහේ වැඩසටහනක්.
මේ අවුරුද්දේ අයවැයෙන්වත් ඒ අවස්ථාව මිනිස්සුන්ට ලබාදෙන්න ඕනේ.