මෙරට ප්‍රතිසාධනය අසම්පූර්ණ හා අසමාන බව ලෝක බැංකුව කියයි
ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට පෙර පැවති මට්ටම් වෙත ළඟා වී තිබුණත්, පුළුල් ආර්ථික පුනර්ජීවනය පිටුපස ගෘහස්ථ ආදායම් සහ කම්කරු වෙළෙඳපොළ ප්‍රතිඵල තවදුරටත් පසුපසින් පැවතීම හේතුවෙන් මෙම ප්‍රතිසාධනය අසම්පූර්ණ සහ අසමාන ස්වභාවයක් ගන්නා බව ලෝක බැංකු සමූහය සිය ද්විවාර්ෂික ආර්ථික දැක්ම මඟින් පෙන්වා දෙයි.
අද දින (06දා) එළිදක්වන ලද නවතම "ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම: ප්‍රතිසාධනයේ සිට පරිවර්තනය දක්වා" (From Recovery to Transformation) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය මේ වසරේදී සියයට 4.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම කාර්මික සහ සේවා අංශයේ ස්ථාවර වර්ධනය මේ සඳහා හේතු වී ඇති බව පුරෝකථනය කරයි.
අර්බුදයෙන් පසු ඇති වූ ප්‍රකෘතිමත් වීම මන්දගාමී වීම සහ නිෂ්පාදන ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් 2027 වසරේදී ආර්ථික වර්ධනය සියයට 4.2 දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ගෝලීය බලශක්ති වෙළඳපොළේ දිගුකාලීන අස්ථාවරභාවය සහ එල්-නීනෝ සංසිද්ධියෙහි විය හැකි බලපෑම් වැනි ඉහළ යන අවදානම් සාධක නිෂ්පාදන ඵලදායිතාවට සහ ආහාර සුරක්ෂිතතාවට බලපෑම් කළ හැකිය.
ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩ කාර්තු දොළහක් පුරා පුළුල් වී ඇති අතර, 2026 වසරේ පළමු අර්ධය තුළ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7 කින් වර්ධනය වී 2018 මට්ටම් කරා ළඟා වී තිබේ. මූල්‍ය කාර්යසාධනයද ශක්තිමත් වී ඇති අතර, ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ඉහළ යන බලශක්ති සහ ආහාර මිල හේතුවෙන් මෑත මාසවල උද්ධමනය ඉහළ ගොස් ඇති අතර, දරිද්‍රතා මට්ටම සියයට 16.9 ක් ලෙස අර්බුදයට පෙර මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක පවතී.
ප්‍රතිසාධනයේ සිට පරිවර්තනය දක්වා ගමන් කිරීම සඳහා රජයේ වියදම් මත පමණක් යැපීමෙන් තොරව, වැඩිදියුණු කළ යටිතල පහසුකම්, ස්ථාවර ආයෝජන පරිසරයක් සහ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් මත පදනම් වූ පෞද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතා වර්ධනය පුළුල් කළ යුතුව ඇත.
අනාගත වර්ධනය, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාවය අවම කිරීම සඳහා ප්‍රධාන ධාවකයක් ලෙස කෘෂිකිර්මාන්තය කෙරෙහි මෙම වාර්තාව විශේෂ අවධානයක් යොමු කරයි. ප්‍රාථමික කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 ක පමණ ප්‍රතිශතයක් නියෝජනය කළද, ආහාර සැකසුම්, සැපයුම් දාම, වෙළඳාම සහ ආහාර සේවා ආවරණය වන පුළුල් කෘෂිකාර්මික ආහාර පද්ධතිය දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකක් (ආසන්න වශයෙන් සියයට 16.6ක්) සහ රැකියාවලින් සියයට 40 කට අධික ප්‍රමාණයක් දායක කරයි. එසේම, කෘෂි ව්‍යාපාර භාණ්ඩ අපනයනවලින් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන අතර, එය විදේශ විනිමය සහ ග්‍රාමීය ජීවනෝපායන් සඳහා වැදගත් මූලාශ්‍රයකි. ශ්‍රී ලංකාව තේ, පොල්, කුරුඳු, මුහුදු ආහාර සහ රබර් යන ක්ෂේත්රවල ගෝලීය වෙළෙඳපොළ සමඟ සාර්ථකව තරඟ කරයි.
මෙම ශක්තිමත් පදනම තිබියදීත්, වෙළඳ ප්‍රතිපත්ති, රජයේ වියදම්, යටිතල පහසුකම් සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ඉලක්කගත ප්‍රතිසංස්කරණ මගින් නව පෞද්ගලික ආයෝජන රැල්ලක් මුදා හැරීමට සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අගය ශ්‍රේණි ඔස්සේ අවස්ථා පුළුල් කිරීමට හැකි වන බව වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන් කුඩා පරිමාණ වගාකරුවන්ට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට මෙයින් වැඩි ප්රතිලාභ සැලසේ.
වඩාත් පුරෝකථනය කළ හැකි, අපනයන-නැඹුරු ප්‍රතිපත්තිමය පරිසරයක් ස්ථාපිත කිරීම සහ අකාර්යක්ෂම සහනාධාර වෙනුවට කෘෂිකාර්මික පර්යේෂණ සහ දේශගුණික වශයෙන් ස්මාට් තාක්ෂණයන් සඳහා ඵලදායිතාව ඉහළ නංවන ආයෝජන වෙත රාජ්‍ය වියදම් යොමු කිරීම වාර්තාව විසින් නිර්දේශ කරනු ලැබේ.
මෙම "ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම" වාර්තාව, දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයන් සහ ප්‍රතිපත්තිමය අභියෝග විමසා බලන ලෝක බැංකු සමූහයේ ද්විවාර්ෂික වාර්තාවක් වන "දකුණු ආසියානු ආර්ථික යාවත්කාලීන කිරීම" (South Asia Economic Update) සමඟ සම්බන්ධිත ප්රකාශනයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
