ෆේස්බුක් භාවිත කරන්නන් බිලියන භාගයකගේ පමණ පෞද්ගලික තොරතුරු, ඔවුන්ගේ දුරකථන අංක ඇතුළු දත්ත හැකර්වරුන් භාවිත කරන වෙබ් අඩවියකට යවා ඇති බව සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති.
සයිබර් දත්ත සම්බන්ධ බුද්ධි විශේෂඥයන් පවසන පරිදි එක්සත් ජනපදයේ ගිණුම් මිලියන 32කට වැඩි ප්රමාණයක්, එක්සත් රාජධානියේ මිලියන 11ක් සහ ඉන්දියාවේ මිලියන 6ක් සඳහා වාර්තා ලැබී ඇති බවයි.
සමහර අවස්ථාවල ෆේස්බුක් පරිශීලකයන්ගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය, උපන් දිනය, විද්යුත් තැපැල් ලිපිනයන්, දුරකථන අංකය සහ සම්බන්ධතා තත්ත්වයන්ද එම දත්තවල ඇතුළත් බව කියයි.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙතින් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ එම දත්ත 2019 දී වාර්තා වූ පැරණි දත්ත සමුදායක් බවයි. එමෙන්ම 2019 අගෝස්තු මාසයේදී මෙම ගැටලුව සොයාගෙන එය විසඳා ගත් බවද ෆේස්බුක් සමාගම පවසා ඇත. කෙසේ වෙතත් ෆේස්බුක් එය එකල බලපෑමට ලක්වූ පරිශීලකයන් වෙත දැනුම් දුන්නේ දැයි සඳහන් කර නැත.
කෙසේ වෙතත් මෙම දත්ත 2019 සිට පැවතුණද, හැකර්වරුන්ට සහ සයිබර් අපරාධකරුවන්ට එය තවමත් වටිනාකමක් ලබාදිය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥ මතය වී තිබේ.