'බ්ලැක් ලයිව්ස් මැටර්' සහ 'ජෝර්ජ් ෆ්ලොයිඩ්' යනුවෙන් හඬ නඟමින් විරෝධතාකරුවන් ඊයේ (06දා) එක්සත් ජනපද වොෂිංටන් ඩීසී අගනුවරට වාර්තාගත ජන ගඟක් එක්රැස් කර තිබුණි.
එරට කැපිටල් ගොඩනැගිල්ලේ සිට ධවල මන්දිරය සහ ලින්කන් අනුස්මරණයක් දක්වා වීදියේ මෙම විරෝධතාකරුවන් දැකගත හැකි විය.
කෙසේ වෙතත් හමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.
මින්නෙපොලිස්හි සුදු පොලිස් නිලධාරියෙකු මිනිත්තු 9කට ආසන්න කාලයක් දණ හිසෙන් ගෙල පාවාගෙන සිටීමෙන් අවසන් ගමන්ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය, කළු ජාතිකයන්ට එරෙහිව ඇමෙරිකාවේ සිදුවන මර්ධනය යළි ඉස්මතු විය.
ඒ අනුව මෙම විරෝධතාව පුරා දැකගත හැකිවූයේ "ඔබේ දණහිස අපගේ බෙල්ලෙන් ඉවතට ගන්න" යනුවෙන් දැක්වුණු විරෝධතා පුවරු රැසකි. කෙසේ වෙතත් මෙම විරෝධතාව උණුසුම් මුහුණුවරක් නොගත් අතර, එය බොහෝ දුරට සාමකාමීව පවත්වා තිබුණි. නමුත් විවිධ ස්ථානවල තවදුරටත් සිදුවන කොල්ලකෑම් වැළැක්වීමටද පොලීසිය හා ජාතික ආරක්ෂක බලකා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
මීට සමගාමීව නිව්යෝක් ඇතුළු ඇමෙරිකාවේ නගර රැසකද, තවත් යුරෝපා රටවල් කිහිපයක සහ ඔස්ට්‍රේලියාවේද කළු ජාතිකයන් වෙනුවෙන් හඬ නැගුණු විරෝධතා දැකගත හැකි විය.
ධවල මන්දිරය ආරක්ෂිත නව වැටවල් සහ අමතර ආරක්ෂක පියවරයන්ගෙන් ශක්තිමත් කර ඇති අතර, ධවල මන්දිරය පැවසුවේ ජනාධිපතිවරයාට සෙනසුරාදා පැවැත්වීමට නියමිත මහජන උත්සව කිසිවක් නොමැති බවය. මේ කෙටි කාලය ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය තුළ නිවාස අඩස්සියට පත්ව ඇති බව විදෙස් වාර්තා පැවසීය.