ෆයිසර්-බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 එන්නත මගින් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයෙන් ජනතාව ආරක්ෂා කළ හැකි බව නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ බදාදා ප්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවකින් කියැවෙයි.
මෙම අධ්‍යයනය සඳහා ෆයිසර් සහ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශාඛාවේ පර්යේෂකයන් B.1.351 හි සොයාගත් සමහර විකෘති අනුවාදයන්, සායනික පරීක්ෂණයක කොටසක් ලෙස ෆයිසර් - බයෝටෙක් එන්නත මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ලබාගත් රුධිර සාම්පලවල සමග සසඳමින් පරීක්ෂා කර තිබේ.
මෙම රුධිර සාම්පල පරීක්ෂාව මගින් වෛරසය උදාසීන කිරීමට ෆයිසර් එන්නත තවමත් ප්‍රමාණවත් බව ඔවුන් වෛද්‍ය සඟරාවට ලියා ඇත්තේ, මෙය වෙනත් අධ්‍යයනයන්ට අනුකූල වන බවද පවසමිනි.
මීට අමතරව, එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනය හා මොඩෙර්නා ආයතනයේ කණ්ඩායමක් එම සඟරාවේම ලිපියක් පළ කරමින් පවසන්නේ, සිය අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස, B.1.351 වෛරසය ප්‍රභේදයට එරෙහිව මොඩෙර්නා එන්නතෙහි කාර්යක්ෂමතාවයේ යම් අඩුවක් තිබුණද, එම එන්නත අසමත් වී නොමැති බවයි. එමෙන්ම බි්රතාන්යයේ ප්‍රථම වරට දුටු සහ B.1.1.7 ලෙස හැඳින්වෙන ප්‍රභේදයකට එරෙහිව කාර්යක්ෂමතාවයේ කිසිදු අඩුවීමක් නොමැති බවද ඔවුන් පවසයි.