හිමමත ලිස්සා යෑමේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් පුද්ගලයන් පිරිසක් රැගෙන යමින් සිටියදී ඇලස්කාවේ ග්ලැසියරක් අසලදී අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සිට මියගිය පස් දෙනා අතර චෙක් ජනරජයේ ප්‍රකෝටිපතියෙකු වන පීටර් කෙල්නර්ද සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙල්නර් සම-ආරම්භකයෙකු වූ චෙක් ආයෝජන සමාගමක් වන පීපීඑෆ් සමූහය ඊයේ (29දා) ප්‍රකාශයක් මගින් ඔහුගේ මරණය තහවුරු කළේය.
"කෙල්නර් ඇලස්කාවේ කඳුකරයේ හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්‍රාප්ත වූ බව පීපීඑෆ් නිවේදනය කරයි. ඔහුගේ වෘත්තීය ජීවිතය ඔහුගේ ඇදහිය නොහැකි කාර්යයන්, ආචාරධර්ම හා නිර්මාණශීලිත්වය නිසා ප්‍රසිද්ධ වූවා." සමාගම පවසයි.
56 හැවිරිදි කෙල්නර් කොමියුනිස්ට්වාදයේ බිඳවැටීමෙන් පසු චෙක් ආර්ථිකය පුද්ගලීකරනයට සහභාගී වීම සඳහා 1991 දී පීපීඑෆ් සමූහය පිහිටුවීමට උදව් කළේය. ලොව පුරා සමාගම් 12කට අධික සංඛ්‍යාවක කොටස් හිමි සමාගම් සමූහයේ කොටස්වලින් 99%කට ආසන්න ප්‍රමාණයක් ඔහු සතු වන බව කියයි.
කෙල්නර්ගේ වත්කම ඩොලර් බිලියන 15.7ක් වූ අතර ලොව ධනවත්ම පුද්ගලයින් 500දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ චෙක් ජනරජයේ සිටි එකම පුද්ගලයාද ඔහු විය.
ඇලස්කා ප්‍රාන්ත හමුදා භටයින්ගේ ප්‍රකාශයකට අනුව, නික් ග්ලැසියරය අසල සිදුවූ අනතුරෙන් හෙලිකොප්ටර් නියමුවා ඇතුළු තවත් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එක් මගියෙකු බරපතල නමුත් ස්ථාවර තත්ත්වයේ පසුවිය.