එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් පවසන්නේ තමා කොවිඩ් -19 ආසාදනය වීමෙන් වැළකීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නමැති මැලේරියා ඖෂධය ලබාගන්නා බවයි.
මෙම ආන්දෝලනාත්මක ඖෂධය නව කොරෝනා වෛරසයට මුලින්ම නිර්දේශ කළේ ඇමෙරිකානු නායකයාය. පසුව ඔහුගේ මග යමින් තවත් පිරිස් මේ ගැන නිර්දේශ ලබාදුන් අතර, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද ඒ අතර වෙයි.
කෙසේ වෙතත් මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් කියා සිටියේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් වැළකීම සඳහා තමා මෙම ඖෂධය දිනපතා භාවිත කරන බවයි.
"මම එය රෝග නිවාරණයක් ලෙස භාවිත කරනවා. ජනාධිපති ට්‍රම්ප් එය රෝග නිවාරණයක් ලෙස භාවිත කරනවා. ලෝකයේ බොහෝ නායකයන් එය රෝග නිවාරණයක් ලෙස භාවිත කරනවා" බුකෙල් අඟහරුවාදා සිදුකළ මෙම ප්‍රකාශයෙන් කියැවෙන්නේ ට්‍රම්ප් මඟගත් තවත් පිරිස් ලෝකයේ සිටින බවකි.
කෙසේ වෙතත් එල් සැල්වදෝරයේ නායකයා මෙම ප්‍රකාශය සිදුකළ අවස්ථාවද විශේෂිත වූවකි. ඔහු එය කියා සිටියේ එල් සැල්වදෝරයේ එක්සත් ජනපද තානාපති රොනල්ඩ් ජොන්සන් සමග පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. එක්සත් ජනපදය මධ්‍යම ඇමරිකාවට අයත් එල් සැල්වදොර්ය වෙත වෙන්ටිලේටර්ස් 250ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් එහිදී යෙදී තිබුණි.
මෙහිදී වඩාත් වැදගත් කාරණය නම්, හයිඩ්රොක්ස්ලෝරෝක්වීන් යනු මැලේරියා ඖෂධයකි. ලොව පුරා වෛද්‍ය විශේෂඥයන්ට අනුව එය කොවිඩ්-19 වෛරසය වළක්වා ගැනීම සඳහා ඔප්පු කර නොමැති හා හානිකර ප්‍රතිකාරයක් බවද ඔවුහු අවධාරණය කරති. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය සඳුදා නිවේදනය කළේ ආරක්ෂිත හේතූන් මත සිය සහයෝගීතා පරීක්ෂණයෙහි කොවිඩ්-19 විභව ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අධ්‍යයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට සංවිධානය පියවර ගත් බවයි. විශේෂයෙන්ම මෙම ඖෂධය භාවිත කිරීමෙන් මෙතෙක් කොවිඩ්-19 ආසාදිතයන් විශේෂ සුවයක් ලැබූ බව අනාවරණය වී නොමැති අතර, ඊට වඩා එය භාවිත කිරීමෙන් ඔවුන්ගේ මරණය ඉක්මන් වී ඇති බවට සාක්ෂි ලැබී තිබේ.