ස්විට්ස්ර්ලන්තයේ උස් ඇල්පයින් තණබිම්වල තුවාල ලැබූ කිරි ගවයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයක් ආධාරයෙන් පහළ බිම් පෙදෙසකට ගෙනයෑමේ පුවතක් වාර්තා වෙයි.
උස් කඳු මුදුන්වල තණ බුදිමින් සිටි ගව රංචුවල සිටි මෙම කිරි ගවයන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1,950 (අඩි 6,400) ක් පමණ ඉහළින් ක්ලවුසන්පාස් කඳු පාමුල වෙත මෙසේ රැගෙන විත් තිබුණි.
හෙලිකොප්ටරයේ කේබලයකට සම්බන්ධ කෙරුණු ගවයාගේ බඳ හරහා දැමුණු රැහැනක් ආධාරයෙන් ඉතා පරිස්සමට මෙම සතුන් ප්‍රවාහනය සිදුව ඇති අතර, ඈත සිට බලන්නෙකුට සුන්දර කඳු පන්ති අතර ගුවනේ පියාසර කරන කිරි ගවයන් ආකාරයෙන් මෙම දර්ශනය දිස්වී තිබේ.
කෙසේ වෙතත් තුවාල ලැබූ කිරි ගවයන් හැරුණු විට 1,000ක පමණ සෙසු ගව රැල මෙම සති අන්තයේ මධ්‍යම කැන්ටන් ප්‍රදේශයේ උර්නර්බොඩන් ප්‍රදේශයේ තණබිම් හරහා ගමන් කිරීමට නියමිතය.