සතියකට ආසන්න කාලයක් සූවස් ඇළ අවහිර කිරීමෙන් පසුව දැවැන්ත බහාලුම් නෞකාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, එය සූවස් ඇළ මධ්‍යයේ පිහිටි ග්‍රේට් බිටර් විල වෙත ටග් යාත්‍රා මගින් ඇදගෙන ගොස් තිබේ.
ඊයේ (29දා) ටග් යාත්‍රාවල උදව්වෙන්ම විල හරස් කරමින් වැලි පරයක සිරවී තිබූ නැවේ ඉදිරිපස කොටස ඉන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීමට හැකිවූ අතර, පස්වරු 3.00 පමණ වනවිට නැව ඇදගෙන යාම සිදුව ඇත.
මෙම දැවැන්ත නෞකාව නිදහස් කරගැනීමට ටග් යාත්‍රා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර, ගෝලීය ප්‍රධානතම නෞකා මාර්ගයට යළි ප්‍රවේශය ලබාදීමට දින හතකට ආසන්න කාලයක් ගතවිය.
"අපි එය ඉවතට ගත්තා!" මෙහෙයුමට සහාය වූ නෞකාව මුදාගැනීමට පැමිණි සමාගමක් වන බොස්කලිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මීටර් 400ක් දිග සහ මීටර් 60ක් පමණ පළල සහිත මෙම යෝධ නෞකාව මාර්තු 23 සිට මෙම වැදගත් නැව් මාර්ගය සියලු නැව් ගමනාගමනය අවහිර කර තිබුණු අතර, නැව ග්‍රේට් බිටර් විල වෙත රැගෙන ගොස් එය නැවත සිය නැව් භාණ්ඩ ප්‍රවාහනය සම්පූර්ණ කිරීමට තරම් තත්ත්වයක තිබේද යන්න පරීක්ෂාවට ලක්කරන බව සූවස් ඇල අධිකාරියේ ප්‍රධානී ඔසාමා රබී පවසයි. එය සිදු කළ පසු ඊළඟ පියවර පිළිබඳව නෞකා සමාගම තීරණය කරනු ඇත.