එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් ආසන්නයේදී ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් ධාවනය කළ කාර් රථය පෙරළීමකට ලක්වීමෙන් සිදුවූ අනතුර නිසා ඔහුගේ කකුල් දෙකටම බරපතළ තුවාල සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අඟහරුවාදා උදෑසන ලොස් ඇන්ජලීස් වේලාවෙන් උදෑසන 7.12 ට මෙම අනතුර ගැන අසල්වාසීන් 911 අමතා ඇති අතර, එය අනතුර සිදුවූ වේලාවේදීම පාහේ ලැබී ඇති බව ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් ලෙස කටයුතු කරන ඇලෙක්ස් මාධ්‍ය අමතමින් පැවසීය.
වුඩ්ස්ගේ තුවාල ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොවන බව පවසන ෂෙරීෆ්වරයා, ඔහුට සන්නිවේදනය කිරීමට හැකි වූ බවත්, ඔහු සිහියෙන් සිටි බවත් කීවේය. ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ ප්‍රධානී ඩැරල් පවසන පරිදි කකුල් දෙකම බරපතළ ලෙස තුවාල වී ඇත. එම ස්ථානයේ පළමු ප්‍රතිචාර දැක්වූ නිලධාරියෙකු පැවසුවේ වුඩ්ස්ට තනිවම නැගිටීමට නොහැකි තත්ත්වයක සිටි බවයි.
ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි. එමෙන්ම මෙම රථය සාමාන්‍යයට වඩා වැඩි වේගයකින් ගමන් කර ඇති බව පැවසූ ෂෙරීෆ්වරයා, වාහනය ලිස්සා ගිය ලකුණු හෝ බලවත් තිරිංග යෙදීමක් ගැන ලකුණු නොමැති බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, වුඩ්ස් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය මේ වනවිට බරපතළ නොවන බවත් පැවසීය.