2021 ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳ වාර්තාවට අනුව වසංගතය හමුවේ පවා ලොව ප්‍රීතිමත්ම රට ලෙස අඛණ්ඩව සිව්වන වසර සඳහාත් ෆින්ලන්තය ඉහළින්ම සිටියි.
ගැලප් ලෝක ඡන්ද විමසීමේ දත්ත මගින් බල ගැන්වෙන මෙම වාර්ෂික ලැයිස්තුව වසංගතය හමුවේ මෙවර වෙනස් ආකාරයකින් සංයුක්ත කර ඇති බව සඳහන් කර සිටියි.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 2.7කට අධික ජනතාවක් මිය ගොස්, මෙම වසංගතය අප බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේ විශාල සෙලවීමක් ඇති කර ඇති පරිසරයක මෙම දත්ත විශේලේෂණය කර ඇත.
නමුත් පසුගිය මාස 12 තුළ සිදුවූ විනාශකාරී සිදුවීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් ගණනාවක මානසික සෞඛ්‍යය පිරිහීම තිබියදීත්, ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ස්ථානයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.
සිව්වන වසර සඳහාත් මෙසේ ෆින්ලන්තය ඉහළින්ම සිටින අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙලින් දෙවැනි, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන ලබාගෙන ඇත.
මෙවර වාර්තාව සැකසීමේදී රටවල් ගණනාවක මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා සම්පූර්ණ කිරීමට පර්යේෂකයන්ට නොහැකි වූවා පමණක් නොව, යහපැවැත්ම සහ කොවිඩ්-19 අතර සම්බන්ධතාවය කෙරෙහි අවධානය වැඩිවශයෙන් යොමුකිරීමටද සිදුව තිබේ.
මෙම වාර්තාව මූලික වශයෙන් පදනම් වී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම්, ආයු අපේක්ෂාව, ත්‍යාගශීලිත්වය, සමාජ සහයෝගය, නිදහස ආදී නිර්ණායක ඔස්සේ බව ඔවුන් කියයි.
මෙවර 2018 සිට 2020 දක්වා දත්ත පදනම් කරමින් සිදුකර ඇති ලොව ප්‍රීතිමත්ම රටවල ලැයිස්තුවට අනුවද ෆින්ලන්තය ඉදිරියෙන්ම සිටින අතර, එහි ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයට පත්ව තිබේ. දකුණු ආසියාවේ සෙසු රටවල් වන නේපාලය 87 වැනි ස්ථානයටත්, මාලදිවයින 89 වැනි තැනටත්, බංග්ලාදේශය 101 වැනි ස්ථානයටත්, පාකිස්තානය 105 වැනි තැනටත් පත්ව තිබේ.