ගෝලීය වශයෙන් කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බව ජාත්‍යන්තර කාන්තා දිනයට පැය කිහිපයකට පසු නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නව වාර්තාවක් ඇස්තමේන්තු කර තිබේ.
වාර්තාවේ සොයාගැනීම් පදනම් වී ඇත්තේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙතෙක් සිදු කරන ලද විශාලතම අධ්‍යයනයේ දත්ත මත පදනම් වෙමිනි.
"මිලියන 736ක් පමණ කාන්තාවන්, සමීප සහකරුවෙකු විසින් හෝ එසේ නොවන අයෙකු අතින් සිදුවන ශාරීරික හෝ ලිංගික හිංසනයකට ලක්වන බවත්, පසුගිය දශකය තුළ විශාල වශයෙන් මෙය නොවෙනස්ව පවතින සංඛ්‍යාවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව තවදුරටත් පවසයි.
සමීප සහකරු ප්රචණ්ඩත්වය කාන්තාවන් විසින් අත්විඳින වඩාත් සුලභ ස්වරූපය වන අතර, ගෝලීය වශයෙන් මිලියන 641ක් ඉන් පමණ පීඩාවට පත්ව ඇත. වයස අවුරුදු 15 ත් 24 ත් අතර කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු විසිවන වියේ පසුවන විට සමීප සහකරුවෙකු අතින් හිංසනයට ලක්ව ඇති බව එම සංවිධානය පවසයි. ඉන් බහුතරය තරුණ මවුවරුන් වන අතර, වසංගත සමයේ නිවසේ රැඳී සිටීමට ලබාදුන් නියෝගයන් නිසා මෙය තවත් උග්රවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා විධායක අධ්යක්ෂ ෆුම්සිලේ මැලම්බෝ-එන්ගුකා පැවසීය.
"සෑම රජයක්ම මේ සඳහා විසඳුම් සෙවීමට ශක්තිමත්, ක්‍රියාශීලී පියවර ගත යුතු අතර ඒ සඳහා කාන්තාවන් සම්බන්ධ කර ගත යුතුයි." ඇය සඳහන් කළාය.
මෙහිදී අදාළ රට සහ එම රටේ ධනය තීරණාත්මක සාධක වන අතර, වාර්තාවට අනුව දුප්පත්ම රටවල වෙසෙන කාන්තාවන්ගෙන් 37%ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික හිංසනයන්ට ඔවුන්ගේ සමීප සහකරු අතින් ලක්ව ඇති බව සොයාගෙන තිබේ. සමහර රටවල එවැනි ප්රචණ්ඩත්වයේ ප්‍රවණතාව සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු තරම් ඉහළ අගයක් ගනී.
ඕෂනියා, දකුණු ආසියාව සහ උප සහරා අප්‍රිකාවේදී තම සමීපතම හවුල්කරුවන් අතින් සිදුවන හිංසනය ඉහළ මට්ටමක පැවතුණු බවත්, යුරෝපයේ අඩුම අනුපාතයන් පැවතුනු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.