ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය එරට ප්රාන්තයන්හි මහ ඇමතිවරුන්ට අවධාරණය කර තිබුණේ, රටේ ජනගහනයෙන් 70% - 80%ක් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදුන් විට රට නැවත විවෘත කරන අතර, හදිසි ආර්ථික ආධාර පැකේජ අවසන් කරන බවත්ය.
සිඩ්නි නුවර ඩෙල්ටා ප්‍රභේදය සමග අඛණ්ඩව ආසාදනයන්ගේ ඉහළ යෑමක් හේතුවෙන් රට විවෘත කිරීම ප්‍රමාද කිරීමට සමහරු යෝජනා කර ඇති පසුබිමක, පසුගිය මාසයේදී එකඟ වූ අදියර 4ක ජාතික විවෘත කිරීමේ සැලැස්මකට අනුකූලව කටයුතු කරන ලෙස ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික ජෝෂ් ෆ්‍රයිඩන්බර්ග් ප්‍රාන්ත මහ ඇමතිවරුන්ට දන්වා තිබේ.
"මම සම්බාධක යන යෙදුම භාවිත කරන්නේ නැහැ. නමුත් එන්නත්කරණයේ 70% - 80% ඉලක්කය කරා ළඟා වනවිට අපේ හදිසි ආර්ථික සහයෝගය පවතින පරිමාණයෙන් අඛණ්ඩව පවතිනු ඇතැයි මහ ඇමතිවරුන් බලාපොරොත්තු නොවිය යුතුයි." ෆ්‍රයිඩන්බර්ග් පැවසීය.
කොරෝනා වෛරසයේ තුන්වන රැල්ල පාලනය කිරීමට පොරබදින ඕස්ට්‍රේලියාව, එහි මිලියන 25ක ජනගහනයෙන් අඩකටත් වඩා ජීවත් වන ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර වන සිඩ්නි මෙන්ම, මෙල්බර්න් සහ කැන්බරා අගනුවර අගුලු දමා මිලියන ගණනක් ජනතාවට එන්නත් කඩිනමින් ලබාදීමේ තරගයක නිරතව සිටියි.
ඒ අනුව මේ වනවිට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ගෙන් 31%ක් පමණ සම්පූර්ණයෙන් එන්නත් කර ඇති අතර, 54%කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇත.