ඉන්දියාව කොවිඩ්-19 සුනාමියකට හසුවී, රට යටපත්ව ඇති විනාශකාරී දෙවැනි රැල්ලේ වගකීම එරට පාලක භාරතීය ජනතා පක්ෂය ලෙස තමන් පළමුව හා ප්‍රධාන වශයෙන්ම දරණ බව එම පක්ෂයේ ප්‍රකාශක නරේන්ද්‍ර තනේජා පවසයි.
එරට ඇතිවී තිබෙන ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් බහුතර ඉන්දීය ජනතාවද දැඩිව අග්‍රාමාත්‍ය මෝදි මෙන්ම, පාලක පක්ෂය වෙත චෝදනා කරමින් සිටින පසුබිමක නරේන්ද්‍ර තනේජා මෙම අදහස් දැක්වීම සිදුකරයි.
"අපි බලයේ සිටියා. අපි ඉන්දියාවේ රජය ලෙස ක්‍රියා කළා. ඒ නිසා ඇත්තෙන්ම තත්ත්වය හොඳ වුවත්, නරක වුවත් එහි වගකීම පළමුවෙන්ම හා ප්‍රධානවම රජය ලෙස අප දැරිය යුතුයි. එය කුමක් වුවත් එය අපගේ වගකීම වෙනවා. කෙසේ වෙතත් අපි අපගේ උපරිමයෙන් උත්සාහ කරමින් සිටිනවා" නරේන්ද්‍ර පැවසීය.
කෙසේ වෙතත්, වර්තමාන අර්බුදය කලින් පුරෝකථනය කළ නොහැකි එකක් බවටද ඔහු තර්ක කළේය. "ගොඩක් අය කියන්නෙ අපි පෙබරවාරි මාසයේ මේ තත්ත්වය දැනගෙන සිටි බවයි. ඒ කාලයේ විද්‍යාඥයන් සහ වෛද්‍යවරු එකම මතයක සිටියේ නැහැ" ඔහු පැවසීය.
"කොහොම වුණත් පෙනෙන විදිහට යමක් වැරදී ඇති බව දැන් අපට වැටහී තිබෙනවා. අවසානයේ අපට කොවිඩ්-19 සුනාමියක් ඇතිවී තිබෙනවා. ඔබ, අප දන්නා පරිදි හෝ බොහෝවිට නොදන්නා පරිදි මේ තත්ත්වයට ඇතැම් අවස්ථාවලදී 80-90%ක් හේතු බාහිර ඒවාද වෙන්නට පුළුවන්. නමුත් එයත් අප හරියාකාරව දන්නේ නැහැ. මෙතැනදී වෙනත් ඕනෑම කෙනෙකුට දොස් කියන්නට අපට අවශ්‍ය නැහැ. මොකද අපි රජයක් හැටියට බලයේ සිටින බව අපි දන්නවා. ඒ නිසා අවසානයේ අපි මීට වගකිව යුතුයි. අපගේ අවධානය දැන් යොමු වී ඇත්තේ හැකිතරම් අපට ජීවිත බේරාගත හැකි ආකාරයන් සෙවීම පිළිබඳවයි."
මේ වනවිට ඉන්දියාව ලෝකයේ දරුණුතම කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 379,257ක් වාර්තා කරමින් නව ගෝලීය වාර්තාවක් පිහිටුවා තිබේ. එමෙන්ම රට තුළ මරණ 3,645ක් වාර්තා වී ඇති අතර, එයද දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවයි.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ පුරෝකථන ආකෘතිවලට අනුව, ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව මැයි මැද භාගය දක්වා අඛණ්ඩව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඒ අනුව දෛනික මරණ සංඛ්‍යාව 13,000කට වඩා වැඩි විය හැකි බවත්, එය වර්තමාන දෛනික මරණ සංඛ්‍යාව මෙන් හතර ගුණයකටත් වඩා වැඩි තත්ත්වයක් බවත් කියයි.