මේ වනවිට ලබාදීමට රජයේ රැකියා නොමැති බවත්, 1,000කට පඩි ගෙවිය හැකි ඇතැම් රජයේ කාර්යාලවල 3,000ක් සිටින බැවින් රජයේ රැකියාවක් ලබාදීමම පවක් යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එමෙන්ම, ජනතාව දේශපාලනඥයාගේ ඉඳුල් කන යුගය අවසන් කර අනාගතය තමන් අතට ගන්නා යුගය ආරම්භ කර ඇතැයිද පැවසූ මංගල සමරවීර මහතා, රැකියාවක් සොයා ඇමැතිවරුන්ගේ කාර්යාල ඉදිරිපිට තරුණ තරුණියන් රැස්ව සිටි යුගය අවසන් කළ යුතුව ඇතැයිද කියා සිටියි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"ඇත්තටම දෙන්න දැන් රජයේ රස්සාවල් නෑ. 1,000කට පඩි ගෙවන්න පුළුවන් රජයේ ඇතැම් කාර්යාලවල 3,000ක් විතර සේවකයන් ඉන්නවා. රජයේ රස්සාවක් දෙන එකත් පවක්. මමත් ඒ පවේ කොටස්කරුවෙක්. රජයේ ආයතන අලාභ ලබන තත්ත්වයට පත් වෙන්න, ඒ ආයතන කඩා වැටෙන්න මේක හේතුවක්.
ශ්‍රී ලංකාවේ රස්සාවල් පෞද්ගලික අංශයේ ඕනෑ තරම් තියෙනවා. මැද පෙරදිග ගිහින් ගන්න වැටුපට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන් කම්කරු රැකියා මෙහෙ තියෙනවා. නමුත් අපේ අය කරන්න ලැජ්ජයි. මෙහෙ තියෙන සමාගම් දිගින් දිගටම රැකියා අවස්ථා දෙන්න හැදුවත් භාරගන්න පිරිස ඉදිරිපත් වෙන්නෙ නැත්තම් අපට සිද්ධ වෙනවා ඒ රස්සාවල්වලට චීනය, ඉන්දියාව සහ මියැන්මාරය වගේ රටවල්වලින් එන කම්කරුවන්ට ඉඩ දෙන්න. ඊට පස්සෙ 'ඔන්න රටින් කට්ටිය ගෙනාවා' කියල කෑ ගහන්න එපා."