මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩිවීම, ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම සහ අඩු එන්නත්කරණය හේතුවෙන් උග්‍රවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ සති 8ක් පුරා ආසාදන හා මරණ අඩුවීමෙන් පසුව, නැවතත් ලිබියාව, ඉරානය, ඉරාකය සහ ටියුනීසියාව යන රටවල සැලකිය යුතු ලෙස ආසාදන හා මරණ වැඩි වීමක් සිදුවී ඇති බවත්, ලෙබනනයේ සහ මොරොක්කෝවේ තියුණු වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඒජන්සිය පවසයි.
ලබන සතියේ කලාපය පුරා රටවල් මුස්ලිම් ඊද් අල්-අදා නිවාඩු දිනය සනිටුහන් කරන පරිසරයක මෙසේ ආසාදන වැඩිවෙමින් පවතී.
"වර්තමාන කොවිඩ්-19 නැගිටීම ඉදිරි සතිවලදී අඛණ්ඩව ඉහළ යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිලිමත් වෙනවා. එය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇති" ඒජන්සියේ ප්‍රාදේශීය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග පිළිපැදීමේ ඌණතාව සහ ප්රජාවන්ගේ උදාසීනත්වය වැඩිවීම මෙන්ම අඩු එන්නත් අනුපාත සහ නව ප්‍රභේද ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කලාපයේ සහ අප්‍රිකාවේ ඒක පුද්ගල මරණ අනුපාතය වැඩිම රටක් ලෙස ටියුනීසියාව ඒජන්සිය විසින් ඉස්මතු කර දැක්වූ අතර, ඉරානයේ දෛනික ආසාදිතයන් සති හතරක් තුළ ජූලි මස මුල සිට දෙගුණයක් දක්වා වැඩි වී ඇති බව සඳහන් කරයි.
සමස්තයක් ලෙස පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ ජිබුටි මෙන්ම මැද පෙරදිග ඇතුළුව නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 11.4 ඉක්මවා ඇති බව එම නිවේදනයේ දැක්වේ. එමෙන්ම මරණ 223,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.