ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (01දා) පෙරවරුවේ දිල්ලියේ රෝහලකදී කෝවිඩ්-19 ආරක්ෂණ එන්නත විද ගනිමින්, කොරෝනා වෛරසයට එරෙහිව රටපුරා එන්නත ලබාදීමේ දෙවැනි අදියරේ පළමු ප්‍රතිලාභියා බවට පත්ව තිබේ.
භාරත් බයෝටෙක් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් සංවර්ධනය කරන ලද ඉන්දියාවේම නිෂ්පාදිත එන්නතක් වන කොවැක්සින් එන්නත අගමැති මෝදි විසින් ලබාගෙන තිබේ.
"මගේ පළමු වැනි එන්නත් මාත්‍රාව අද මා ලබා ගත්තා. කොවිඩ්-19 ට එරෙහි ගෝලීය සටන ශක්තිමත් කිරීම සඳහා අපගේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් යුහුසුළුව කටයුතු කළ ආකාරය කැපී පෙනෙනවා. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු දෙනාටම මම ආරාධනා කරනවා. අපි එක්ව ඉන්දියාව කොවිඩ්-19 වලින් නිදහස් කරමු" අගමැති මෝදි පැවසුවේ එන්නත විදගැනීමෙන් පසුවය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව සංවර්ධනය කළ කොවිෂීල්ඩ් එන්නතද ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදාහරින සහ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලද එන්නතක් වුවද, අගමැති මෝදි ඉන්දියාවේම සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නත විදගැනීමද විශේෂත්වයකි..