කවර ප්‍රමාණයකින් හෝ මට්ටමකින් මත්පැන් පානය කළත් ඒ සෑම ආකාරයකම ඇල්කොහොල්වල මිනිස් ශරීරයට හිතකර තත්ත්වයක් දැකිය නොහැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
විශේෂයෙන්ම, සැර මත්පැන් වරග නොගෙන දිනකට වයින් වීදුරුවක් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර යැයි පවසන ඇතැම් පිරිස්වලට මෙය හොඳ පාඩමක් කියාදෙන අධ්‍යනයක් බවද සඳහන් වෙයි.
ගෝලීය වශයෙන් සිදුකන ලද දැවැන්ත පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වා ඇති මෙම අධ්‍යයන තොරතුරු සැකසීම සඳහා ලෝකයේ ප්රමුඛ පෙළෙහි විශ්වවිද්‍යාල කිහිපයක විශේෂඥයන් සම්බන්ධ වී තිබේ.
ඒ අනුව, අධික මත්පැන් ලෝලියෙකු නොවී සාමාන්‍ය ලෙස මත්පැන් පානය කරන පිරිස්වලට හෘද රෝගයන්ගෙන් බේරීම් යම් හැකියාවක් පැවතියත්, ඔවුන්ද පිළිකා සහ වෙනත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ ඉහළ සම්භාවිතාව පවතින බව මෙම අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.
ග්ලෝබල් බර්ඩන් ඔෆ් ඩිසීස් ලෙස හඳුන්වා ඇති මෙම අධ්‍යයන වාර්තාව වර්ෂ 1990 සිට 2016 දක්වා රටවල් 195ක පුද්ගලයන් මත්පැන් පානය කරන මට්ටම් මෙන්ම ඒවා ඔවුන්ගේ සෞඛ්‍යයට බලපාන අන්දම සැලකිල්ලට ගෙන තිබේ.
එහිදී, වයස අවුරුදු 15 සිට 95 දක්වා වයස්වල පිරිස් මෙම අධ්‍යයනයට යොදාගෙන ඇති අතර, කොහොත්ම මත්පැන් නොබොන පුද්ගලයන් සහ දිනකට එක් වීදුරුවක් හෝ මත්පැන් පානය කරන පිරිස් ආදී වශයෙන් ඉහළට සසඳමින් මෙය සිදුකර ඇත.
මෙම අධ්‍යයනයේ මූලිකත්වය ගෙන කටයුතු කරන වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මැක්ස් ග්රිස්වොල්ඩ් පෙන්වා දෙන්නේ මීට පෙර සිදුකරන ලද අධ්‍යයනයන්වලදී මත්පැන් පානයේ යම් යම් සීමාවල ආරක්ෂාකාරී මට්ටම් පැවතියත්, මෙම අධ්‍යයනයේදී කවර ප්‍රමාණයකින් මත්පැන් ගත්තත් එය කිසියම්ම හෝ සෞඛ්‍යය තර්ජනයක් ඇති කරන්නක් බව හෙළි කර ඇති බව අවධාරණය කරයි.