ඊශ්‍රායලය තුළ කොවිඩ්-19 මර්දන එන්නතෙහි තුන්වැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව නිසා එරට වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් කොරෝනා ආසාදනයට ලක්වීම සැලකිය යුතු ලෙස අඩු වී, ඔවුන් බරපතළ රෝගාබාධවලින් ආරක්ෂා වීම සැලකිය යුතු ලෙස වැඩි දියුණු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.
බ්‍රහස්පතින්දා පැවති එන්නත් පිළිබඳ විශේෂඥයින්ගේ අමාත්‍යාංශ මණ්ඩල රැස්වීමේදී දත්ත ඉදිරිපත් කරන ලද අතර අධ්‍යයනයේ සම්පූර්ණ විස්තර නිකුත් නොකළද එම දත්ත එහි වෙබ් අඩවියේ පළ කරමින් මෙම අනාවරණය සිදුකර ඇත.
මෙම සොයාගැනීම් පසුගිය සතියේ ඊශ්‍රායලයේ මැකාබි සෞඛ්‍ය සේවා සැපයුම්කරු විසින් වාර්තා කරන ලද වෙනම සංඛ්‍යාලේඛනවලට සමාන වීමද විශේෂත්වයකි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පැවසුවේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් අතර, තුන්වැනි මාත්‍රාවෙන් දින 10කට පසුව ආසාදනවලින් ආරක්ෂා වීම මාත්‍රා දෙකක් ලබාදීමෙන් ලැබූ ආරක්ෂාවට වඩා හතර ගුණයකින් වැඩි බවයි.
බරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා පස් ගුණයකින් හෝ හය ගුණයකින් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බවද එම නිලධාරීන් පැවසීය.
එම වයස් කාණ්ඩය විශේෂයෙන් කොවිඩ්-19 වසංගතයට ගොදුරු විය හැකි අතර, පසුගිය දෙසැම්බර් මස අග භාගයේදී එන්නත ලබාදීම ආරම්භ වූ විට ඊශ්‍රායලය මුලින්ම එන්නත් ලබා දුන්නේද මෙම කාණ්ඩය වෙතය.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ වැඩිහිටියන් හා තරුණයින් සඳහාද මේ වනවිට ප්‍රතිශක්තිකරණය අඩු වී ඇති බවයි. ඒ අනුව ඊශ්‍රායලය ජුලි 30දා අවුරුදු 60ට වැඩි අයට බූස්ටර් මාත්‍රාව ලබා දීම ආරම්භ කළේය. එසේම පසුගිය බ්‍රහස්පතින්දා බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලැබීමේ වයස අවුරුදු 40 දක්වා අඩු කළ අතර, එම වයසට අඩු ගැබිනි කාන්තාවන්, ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයින්ද මාත්‍රාව ලැබිය යුතු අය අතරට ඇතුළත් විය. කෙසේ වෙතත් මෙම තුන්වැනි මාත්‍රාව ලබා දෙනුයේ අවම වශයෙන් මාස පහකටවත් පෙර දෙවෙනි එන්නත ලබා ගත් අයට පමණි.
මේ අතර ආරක්ෂාව අඩුවන බව පෙන්නුම් කරන දත්ත උපුටා දක්වමින් ඇමරිකා එක්සත් ජනපදය සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමේ සැලැස්ම නිවේදනය කර තිබේ. කැනඩාව, ප්‍රංශය සහ ජර්මනියද මෙසේ ප්‍රතිශක්ති උත්තේජක ව්‍යාපාර ප්‍රකාශයට පත් කර ඇත.