එක්සත් රාජධානියේ කොවිඩ්-19 එන්නත ලබන්නන්ට නිකුත් කෙරෙන ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණයේ ලේඛනයක පින්තූර නිකුත්කර ඇති අතර, ඖෂධවල විශේෂතා පටිගත කර දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීමට ඔවුන්ට මෙමගින් සිහිපත් කර දෙයි.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා සපයන්නන් අද (08දා) සිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, එක්සත් රාජධානිය එන්නතක් අනුමත කළ පළමු බටහිර රට බවට පත්වී සතියකටත් අඩු කාලයකදී මෙසේ එන්නත් කිරීම සිදුවෙයි.
පළමු එන්නත් වැඩසටහනේදී එංගලන්තයේ රෝහල් කේන්ද්‍රස්ථාන 50ක් පමණ මූලික කරගනිමින්, වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන්ට, ඉහළ අවදානම් සහිත අයට, ජාතික සෞඛ්‍ය සේවා සේවකයන්ට සහ සත්කාරක නිවාස කාර්ය මණ්ඩලයට හා එම නිවැසියන්ට එන්නත ලබාදීම ආරම්භ කරනු ඇත.
ඉන් අනතුරුව, අවදානමට ලක්විය හැකි රෝගීන්ට එන්නත් ලබාදීම සඳහා වෛද්‍ය කාර්යාල සහ එංගලන්තය පුරා 1,000ක් පමණ වන දේශීය එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇත.
ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ලබන්නන්ට එන්නත මාත්‍රා දෙකක් ලැබෙනු ඇති අතර, එය සති තුනක පරතරයකින් ලබාදෙයි. මෙම එන්නත සෙල්සියස් අංශක සෘණ 70ක උෂ්ණත්වයේ ගබඩා කර තැබීමට අවශ්‍ය වෙයි.
ඒ අනුව එන්නත් ලබාදීමේදී නිකුත් කරන කාඩ්පතෙහි, ලබාදී ඇති එක් එක් මාත්‍රාවල එන්නතෙහි නම, ප්‍රතිශක්තිකරණ දිනය සහ කණ්ඩායම් අංකය සටහන් කෙරෙනු ඇත. කාඩ්පත් එන්නතෙහි දෙවැනි මාත්‍රාව සඳහා මතක් කිරීමක් ලෙස ක්‍රියා කරන බව කියයි. "ඔබේ කොවිඩ්-19 එන්නත අමතක නොකරන්න" ලෙස සටහන් වූ මෙම කාඩ්පත පසුම්බියක පහසුවෙන් තැන්පත් කළ හැකි නිසා එය පහසු මතක් කිරීමක් වනු ඇත.
එක්සත් රාජධානි රජය මේ වනවිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත මාත්‍රා මිලියන 40ක් ඇණවුම් කර ඇති අතර, එය මිලියන 20ක ජනතාවකට හෝ ජනගහනයෙන් තුනෙන් එකකට එන්නත් කිරීමට ප්රමාණවත්ය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව කොවිඩ්-19 හි මරණ යුරෝපයේ වෙනත් ඕනෑම රටකට වඩා එක්සත් රාජධානියේ වාර්තා වී තිබේ.
මේ අතර, බෙල්ජියමේ පිහිටි එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට එක්සත් රාජධානියට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා ප්‍රවාහනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා යොදාගැනීමේ හැකියාව ගැනද සොයා බලමින් සිටියි. එමෙන්ම මෙම එන්නත ප්‍රවාහනය කිරීම සඳහා වාණිජ නොවන ගුවන් ගමන් විකල්ප පිළිබඳවද එක්සත් රාජධානිය සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.