මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත් සමග ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටී.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කලා කෞතුකාගාරයේ හැදී වැඩෙන මෙම බළලා තරගාවලිය ආරම්භ කරමින් රුසියාව සහ සෞදි අරාබිය අතර පැවති තරගයේ නිවැරදි අනාවැකිය පළ කරමින් මෙම කීර්තිය දිනාගන්නා ලදී.
එහිදී, අකිලිස් සිය පළමු වැනි අනාවැකිය පළ කරන ආකාරය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්වූ බව සඳහන් වෙයි.
තරගයට මුහුණදෙන පාපන්දු කණ්ඩායම් දෙකේ ධජයන් දෙපසින් සවිකර, ඒ ධජ අසල කෑම දැමූ කුඩා පිඟන් දෙකක් තබා ඒ මැදින් අකිලිස් තැබූ විට ඌ රුසියානු ධජය අසල වූ කෑම පිඟාන තෝරාගෙන කෑම ගැනීමත් සමග රුසියාව ජයග්‍රහණය ලබන අනාවැකිය දක්වන්නට අකිලිස් සමත් වී ඇත.
2017 වසරේ රුසියාවේදීම පැවති 'කනෆෙඩරේෂන්ස් කප්' හෙවත් මිනි ෆිෆා ලෝක කුසලානය ලෙස සැලකෙන පාපන්දු තරගාවලියේදී අනාවැකි පළ කරමින් අකිලිස් මුල් වරට සිය අනාවැකි හැකියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් දිනාගෙන තිබුණි.
කෙසේ වෙතත්, අකිලිස් මෙවැනි සුවිශේෂී හැකියාවක් දැක්වූවත්, ඌ බිහිරි තත්ත්වයකින් පසුවන බළලෙකු බවද සඳහන් වෙයි.
මේ ආකාරයෙන්ම අනාවැකි කරන පෝල් බූවල්ලා 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැපී පෙනෙන චරිතයක් විය.