ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා වෙරළබඩ ප්‍රජාවක් වන හන්ටිංටන් බීච් හිදී සිය ගණනක් ජනතාව පරට බසිමින් තමන්ට නිවෙස්වලට වී සිටිය නොහැකි බවත්, ආර්ථිකය යළි විවෘත කරන ලෙසත් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා විරෝධතාවක් පවත්වා තිබේ.
මෙහිදී බොහෝ විරෝධතාකරුවන් මෙම භයානක කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කර ඇති, සමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම නොසලකා හැර, එකිනෙකා වැළඳ ගනිමින්, සෙල්ෆි ඡායාරූප පවා ලබා ගනිමින් නිවස්වල රැඳී සිටීමේ ප්‍රාන්ත රජයේ නියෝගවලට සිය විරුද්ධත්වය පෙන්වීමට උත්සාහ කළ බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම විරෝධතාවට සහභාගී වූවන් විශාල පිරිසක් 'ට්‍රම්ප් 2020' ධජ සහ වෙනත් පුවරු ඔසවාගෙන සිටි අතර, ඊට සහාය පළ කරමින් මෝටර් රථවල නැගී පිරිසක් සටන් පාඨ කියමින් ගමන් කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී මුඛ ආවරණ පැළඳ විරෝධතාවට සහභාගී වී සිටියේ ඉතා සුළු පිරිසක් බවත්, ඊට ආරක්ෂව සැපයූ පොලිස් නිලධාරීන් පිරිස මුඛ ආවරණ පැළඳ මුර සංචාරයේ නිරතව සිටි බවත් කියැවෙයි.
කෙසේ වෙතත් මේ හා සමාන විරෝධතා රට පුරා වෙනත් ප්‍රාන්තවල අවධානය දිනාගනිමින් පවතින බව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
මිචිගන්, ඔහියෝ, කෙන්ටකි, මිනසෝටා, උතුරු කැරොලිනා සහ උටාහ් යන රිපබ්ලිකන් හා ඩිමොක්රටික් යන දෙපාර්ශ්වයේම ආණ්ඩුකාරවරුන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රාන්තවල නව කොරෝනා වෛරසයෙන් ආර්ථිකය බිඳ වැටීම ගැන ජනතාව අවධානය යොමු කරමින් විරෝධතා ඉස්මතු කර තිබූ බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම සිකුරාදා දිනයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ප්‍රාන්ත තවදුරටත් වසා නොදමා නිදහස් කළ යුතු බවයි. එමෙන්ම තමන්ගේ ට්විටර් පණිවුඩ යළිත් සනාථ කරමින් ආණ්ඩුකාරවරුන් ඕනෑවට වඩා දැඩිව කටයුතු කර ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වනවිට 700,000ක් ඉක්මවා කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන, රට පුරා මරණ 36,000ක් ඉක්මවා වාර්තා වන ඇමෙරිකා එක්සත් ජනපදය නිසි සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලින් තොරව දේශපාලනික තීන්දු තීරණ හරහා රට විවෘත කිරීමට යෑම ඉතා භයානක තත්ත්වයක් ගෙනදෙනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඇමෙරිකානු වෛද්‍ය විශේෂඥ මතය වී ඇත්තේද ඔවුන් රටක් ලෙස වෛරසය සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. එහිදී ඇමෙරිකානු ජනතාවද මේ අවස්ථාවේ වගකීමෙන් තොර හැසිරීමක් පෙන්නුම් කිරීම කනගාටුදායක බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.