ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පාමින් ඇති වූ බ්ලැක් ලයිව්ස් මැටර් (කළු ජීවිත වැදගත්) යන සටන් පාඨයෙන් යුතු තවත් දැවැන්ත විරෝධතාවක් මෙම සති අන්තයේදී වොෂිංටන් ඩී.සී. හිදී පැවැත්වීමට පෙරාතුව ධවල මන්ධිරය දක්වා වූ මාර්ගය යෝධ කහ පැහැති අකුරින් 'බ්ලැක් ලයිව්ස් මැටර්' ලෙස පින්තාරු කර තිබේ.
16 වැනි වීදියේ බ්ලොක්ස් දෙකක් (ගොඩනැගිලි පවතින කොටස් දෙකක්) දක්වා මෙම අකුරු පෙළ විහිදෙන අතර, මංතීරු දෙකම ආවරණය කරමින් ලියා ඇති දැවැන්ත අක්ෂර පේළිය සෘජුවම ධවල මන්දිරය දෙසට ඇදෙයි.
කෙසේ වෙතත් 'බ්ලැක් ලයිව්ස් මැටර් ග්ලෝබල් නෙට්වර්ක්' ක්‍රියාකාරීන්ගේ වොෂිංටන් ඩීසී එකමුතුව නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කර තිබේ.
"මෙය සැබෑ ප්රතිපත්තිවලින් මිදී, ක්‍රියාකාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමක්. බවුසර් නිරන්තරයෙන් බ්ලැක් ලයිව්ස් මැටර් ඩීසී ඉතිහාසයේ වැරදි පැත්තේ සිට කටයුතු කළ අයෙක්. මෙය අපගේ ඉල්ලීම් නොසලකා සුදු ලිබරල්වාදීන් සතුටු කිරීමක්. බ්ලැක් ලයිව්ස් මැටර් යනු කළු ජාතිකයන්ට එරෙහිව පොලීසිය මුදාහරින ප්‍රචණ්ඩත්වයට හා වර්ගවාදයට එරෙහි ව්‍යාපාරයක්" යනුවෙන් එම කණ්ඩායම ට්වීට් කර තිබේ.
මින්නෙපොලිස් හි පොලිස් නිලධාරීන් අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට ප්‍රතිචාර වශයෙන් සතියකට අධික කාලයක් පුරා ඇදෙන විරෝධතාවන්හි කේන්ද්‍රස්ථානය බවට වොෂිංටනය පවත්ව තිබේ. අද දිනයේ සිට සති අන්තයේදී පැවැත්වීමට නියමිත විරෝධතා සඳහා විශාල පිරිසකගේ සහභාගීත්වයක් සිදුවනු ඇති බව විශ්වාස කෙරෙයි.
මේ දක්වා පැවති විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අතර, ඇතැම් විරෝධතා සාමකාමී ස්වරූපයෙන් පැවැත්විණි. එමෙන්ම විරෝධතා අතරතුර වෙළෙඳ සැල් කොල්ලකෑම් බහුලවීම නිසා ඒවා ආරක්ෂා කිරීමට ජාතික ආරක්ෂක බලකා කැඳවීමටද ඇමෙරිකානු ප්‍රාන්ත රැසකට සිදුවිය.