තමන් දෙවැනි වරට ජනාධිපති ධුරයේ සේවය නොකරන බව වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.
කෙසේ වෙතත් තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් වෙත සුබ පැතීමට උනන්දු නොවූ ඔහු, බල හුවමාරුව සුමටම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් බවද පවසා සිටියේ ප්රජාතන්ත්රවාදයේ මහ ගෙදර යැයි කියා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනය ගිනි අවුලුවාලීමෙන් දිනක් ගතවීමෙන් පසුවය.
"ජනවාරි 20 වැනි දින නව පරිපාලනයක් ආරම්භ කරනු ඇති" යනුවෙන් ධවල මන්දිරයේදී පූර්ව පටිගත කරන ලද වීඩියෝ පටයක ට්‍රම්ප් පැවසීය. "මගේ අවධානය දැන් සුමට, විධිමත් හා බාධාවකින් තොරව බලය මාරුවීම සහතික කිරීම දෙසට යොමු වීමයි." ඔහු කියා සිටියේය.
ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පැරදී මාස දෙකක් ගතවීමෙන් පසුව ඔහු මේ දක්වාම පරාජය පිළිනොගෙන සිටීම ඇමෙරිකාව තුළ ආතතියක් ඇතිකමින් සිටි නිසා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කිරීම හෝ දෝෂාභියෝගයක් ඉල්ලා සිටීම පිළිබඳ උනන්දුව වැඩි වෙමින් පැවතිණි.
විශේෂයෙන්ම කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ ප්රජාතන්ත්රවාදය අමුඅමුවේ කඩාකප්පල් කිරීමේ ක්‍රියාවේදී ඔවුන් උසිගැන්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් වෙත වරද පැටවෙන නීතිමය තත්ත්වයන්ද උද්ගතව පැවතිණි.
බදාදා ඇති වූ කෝලාහලයෙන් පැය 24කට පසුව නිකුත් කරන ලද වීඩියෝ පටයේ ට්‍රම්ප් රට සුපවත් කිරීම සහ සංහිඳියාව සඳහා ඉල්ලීම් කළ අතර, රට ඉදිරියට යා යුතු බවද පැවසීය.