ළමයින්ට බලපා ඇති මල්ටි-සිස්ටම් ඉන්ෆ්ලේමටොරි සින්ඩ්‍රෝමය (MIS-C), කොවිඩ්-19 වෛරසය හා සම්බන්ධතාවක් තිබිය හැකි බවත්, ඒ පිළිබඳව වාර්තාවක් නිකුත් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්යක්ෂ ජනරාල්වරයා ලොව පුරා සිටින සියලුම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ ළමයින් තුළ ඇතිවිය හැකි කොරෝනා වෛරසය ආශ්රිත මෙම නව දුර්ලභ රෝගය පිළිබඳ විමිසිල්ලෙන් සිටින ලෙසයි.
"පසුගිය සති තුන තුළ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ වාර්තාවලින් කියවුණේ මල්ටි-සිස්ටම් ඉන්ෆ්ලේමටොරි තත්ත්වයන් සමග දරුවන් සුළු පිරිසක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ බවයි. 'කවසාකි ඩිසීස්' රෝගයට හා 'ටොක්සික් ෂොක් සින්ඩ්‍රෝමය'ට සමාන සමහර රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කර තිබෙනවා" යැයි ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.
මෙම දුර්ලභ රෝගය පිළිබඳව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (CDC) විසින් ඊයේ (15දා) සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්ද නිකුත් කරන ලදී. ඒ අනුව උණ තත්ත්වයෙන් පෙළෙන හා අවම වශයෙන් ඉන්ද්‍රීය පද්ධති දෙකක්, එනම් හදවත හා පෙනහළු හෝ වකුගඩු ක්රියාකාරීත්වයේ අක්රීයතාවකින් පෙළෙන දරුවන් මෙම රෝගී අවස්ථාවේ පසුවන බව සැලකිය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිචාරයේ තාක්ෂණික නායක, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, අලුතින්ම හඳුනාගෙන ඇති ළමයින් තුළ දැකිය හැකි මල්ටි-සිස්ටම් ඉන්ෆ්ලේමටොරි සින්ඩ්‍රෝමය (MIS-C) මේ අවස්ථාවේදී යම් ව්‍යාකූල චිත්‍රයක් පෙන්වන බවයි.
"ළමයින්ට බලපාන මල්ටි-සිස්ටම් ඉන්ෆ්ලේමටොරි සින්ඩ්‍රෝමය ගැන අප මෙතෙක් දැන සිටියේ ඉතා අල්ප වශයෙනුයි."
මෙහි රෝග ලක්ෂණ කෙබඳු විය හැකිද යන්න විස්තර කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිද්ධි අර්ථ දැක්වීමක් කර ඇති බවද වැන් කෙර්කොව් පැවසීය.
"මේ නිර්වචනයට ළමයින් කීදෙනෙක් ගැළපෙනවාද යන්න තීරණය කිරීම සඳහා සායනික වෛද්‍යවරුන් මෙම සිද්ධි අර්ථ දැක්වීම භාවිත කළ යුතුයි. එම එක් එක් රෝගීන්ගෙන් ලබාගත් නිශ්චිත දත්ත අපට අවශ්‍යයි" ඇය ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවාය.
"මේ දුර්ලභ රෝගය කොවිඩ් -19 සමග සම්බන්ධ වී තිබේද නැද්ද යන්න අප තේරුම් ගත යුතුයි. මා කලින් සඳහන් කළ පරිදි, සමහර ළමයින් මෙහිදී කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පෙන්වා නැහැ. නමුත් රෝගය වැළඳුණු තවත් ළමයින් ධනාත්මක බව පෙන්වා තිබෙනවා. ඒ නිසා වැඩිදුර තොරතුරු පැමිණෙමින් තිබුණත්, මෙය ටිකක් ව්‍යාකූල තත්ත්වයක්." වැන් කර්කොව් තවදුරටත් පැවසීය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ මෙම දුර්ලභ රෝගය, පශ්චාත් වෛරස සින්ඩ්රෝමයක් හෝ කොවිඩ්-19 ආසාදනයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.
"අප තවමත් නොදන්නා දෙය නම් ඒ දුර්ලභ දේවල් වෛරසය සමග සෘජුවම සම්බන්ධ වී තිබේද යන්නයි. එනම් වෛරසය විසින් සෛල හා එම අවයවවලට සෘජුවම පහර දෙයිද? නැතහොත් මෙය වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක්ද? යන්නයි."
රයන් විසින් මෙය ඉබෝලා වෛරසය හා සමග සිදුවන රුධිර වහනයට සමාන කළේය. "එහිදී ලේ ගැලීමට හේතුව වෛරසය නොවෙයි. බොහෝවිට රුධිරය කැටි ගැසීමේ හැකියාව අඩු කරන වෛරසය පැවතීමට එරෙහි ප්‍රතිශක්තිකරණ ප්රතිචාරයයි. එබැවින් පුද්ගලයෙකු ලේ ගැලීමේදී, එම ලේ ගැලීම දිගටම පැවතියා" රයන් පැවසීය.
"කොහොම වුණත් ගෝලීය කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වනවිට ඔබට වඩාත් දුර්ලභ රෝගී තත්ත්වයන් දැකීමට පටන් ගනීවි" රයන් වැඩිදුරටත් සඳහන් කළේය.