නියමිත කාලයට පෙර බැංකු ණය වාරික සහ රථ වාහන ලීසිං වාරික සියල්ල ගෙවා නිම කිරීමේදී බැංකු හා මූල්‍ය ආයතන විසින් අධිභාරයක් (Surcharge) අය කිරීම ඉවත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවට උපදෙස් ලබාදෙයි.
නියමිත දිනයට පෙර වාරික ගෙවා අවසන් කිරීමේදී මූල්‍ය ආයතන විසින් අදාළ ගනුදෙනුකරු ඒ වනවිට ගෙවීමට ඇති මුදලින් 3%ක් පමණ වන අධිභාරයක් අය කරනු ලබයි. පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳ අවධානය යොමුවිය. එහිදී අනාවරණ වූයේ ඇතැම් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවාගේ ඉල්ලීම මත පමණක් මෙම මුදල අය කිරීමෙන් තොරව අදාළ ගිවිසුම අවසන් කරන බවයි.
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදුකරන මෙම අය කිරීම අහෝසි කිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි. සෑම මූල්‍ය ආයතනයක්ම කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වන බැවින්, එම මුදල අය කිරීම අත්හිටුවීමේ හැකියාව සොයා බලන ලෙස එම නිලධාරීන්ට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී සඳහන් කළේ එම අය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණ නොවන බවය. එම අය කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව කබ්රාල් මහතාද අවධාරණය කළේය.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලියූ.ඩී. ලක්ෂ්මන් මහතා සහ සියලුම රාජ්‍ය බැංකුවල නිලධාරීහුද ඊට එක්ව සිටියහ.