ඔස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වන සිඩ්නි හි බටහිර දෙසින් පිහිටි ප්‍රධාන රෝහල් දෙකක්, වසංගතය තුළ නගරයේ දරුණුතම ආසාදන පැතිරීම සමග පොරබදමින් සිටින බැවින් රෝගීන් රැකබලා ගැනීම සඳහා හදිසි කූඩාරම් සකස් කිරීම අරඹා තිබේ.
ඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගරය වන සිඩ්නි, දැඩි වසංගත තත්ත්වයක් යටතේ මාස දෙකක් ගත වුවත් දිනෙන් දින වාර්තා වන ආසාදන සමග අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.
අද (25දා) දිනයේ නගරයේ විශාලතම දෛනික ආසාදන වැඩිවීම වාර්තා කරමින්, ආසාදිතයන් 919ක් වාර්තා වී ඇති අතර, අවසන් සති දෙක තුළ 9,000කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් එකතු කර ඇත.
ඒ අනුව කොවිඩ්-19 රෝගීන් සඳහා හදිසි ප්‍රතිකාර අංශය තුළ ඇති තාවකාලික ඒකක සැකසීමෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමාදයන් දුරු කිරීමට උපකාරී වන බව බටහිර සිඩ්නි ප්‍රාදේශීය සෞඛ්‍ය දිස්ත්‍රික් ප්‍රකාශකයෙක් පැවසීය.
ඔස්ට්‍රේලියාව එන්නත්කරණය ප්‍රමාදවීම ආසාදන වැඩිවීමට හේතුව බවට චෝදනා නැගෙන අතර, රටේ සමස්ත ජනගහනයෙන් 70% - 80%ක් එන්නත් කරමින් රට විවෘත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.