ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතයෙන් සුවය ලබන ජාතියක් බවට පත්වන සතිය මෙම සතිය වන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව වුවත්, ඒ වෙනුවට වෛරසය ඔහුගේ දොරකඩටම පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රට නැවත විවෘත කිරීම වෙනුවෙන් වූ සූදානම පිළිබඳ සංඥා කරන විටම මුලින්ම ඔහුට ලැබුණේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේම තම සහායකයෙකුට වෛරසය ධනාත්මක බව පරීක්ෂා කර ඇති පුවතකි.
ඉන් දින දෙකකට පසුව උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්ද ධනාත්මක බව පරීක්ෂා කර තිබුණේ, වෛරසය තවදුරටත් ධවල මන්දිරය තුළ හොල්මන් කරන බවට ඉඟි කරමිනි.
මේ සමගම උප ජනාධිපතිවරයා අයෝවා හි සංචාරය ප්‍රමාද කිරීමටත්, වෛරසය ධවල මන්දිරය තුළ ආසාදනය විය හැක්කේ කාටද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමටත් කටයුතු කළේය.
ඉන් නොනැවතී මේ වනවිට ජනපති දියණිය සහ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ඉවන්කා ට්‍රම්ප්ගේ පෞද්ලික සහායිකාවටද කොරෝනා ආසාදනය වීම යනු ඇමෙරිකාව පමණක් නොව, ධවල මන්දිරයවත් රැක ගැනීමට ට්‍රම්ප් පරිපාලනයට නොහැකි බව ප්‍රකට කිරීමක යැයි විදෙස් විචාරකයෝ පවසා සිටිති.
මෙම සමස්ත තත්ත්වය සලකා බැලීමේදී මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 77,180ක් අද (09දා) උදෑසන වනවිට වාර්තා වෙයි. ලොව පුරා වැඩිම කොරෝනා මරණ වාර්තා වන රට ඇමෙරිකාවයි. එමෙන්ම වැඩිම කොරෝනා ආසාදිතයන්ද වාර්තා වන රට ලෙස එරට මේ වනවිට ආසාදිතයන් 1,283,929ක් වාර්තා වෙයි. එය ලක්ෂ 13ක සීමාවට පැමිණීමකි. සමස්තයක් ලෙස එරට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 2කට අඩුවෙයි.
ඒ අනුව රාත්‍රිය පුරා වීදි, දුම්රිය ආදී පොදු ප්‍රවාහන සේවා පිරිසිදු කරමින්, නිතිපතා කොවිඩ් පරීක්ෂණ වැඩි කරමින්, රටේ ආර්ථිකය යළි පණ නැංවීම සඳහා ඇමෙරිකානු නායකයා උත්සාහ කළද කොවිඩ් ආසාදිතයන් අඩුකර ගැනීමේ හෝ ආසාදිත මරණ වළක්වා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම තුළ ට්‍රම්ප්ගේ දොරකඩටම වෛරසය පැමිණ තිබීම ගැන පුදුම විය යුතු නොවේ.
ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ආණ්ඩුකාරවරුන් සමාජ දුරස්ථකරණ සීමා පනවමින්, ජනතාව තවදුරටත් හුදකලා කර වෛරසය පාලනය කිරීමට උත්සාහ කළද, නොහික්මුණු ඇමෙරිකානුවන් වීදිවලට බැස, කිසිදු ආරක්ෂිත උපක්‍රමයක් හෝ භාවිත නොකර රට විවෘත කරන ලෙස උද්ඝෝෂණය කරන විට, ඒ වෙනුවෙන් හුරේ දැමීමටද ඇමෙරිකානු නායකයා ඉදිරිපත් වන ආකාරය දැකිය හැකි විය. ඒ බොහෝ උද්ඝෝෂකයන් ඇතැම් අවස්ථාවල ආයුද සන්නද්ධව පවා පැමිණ තිබුණේ රටේ ජනාධිපති පවා තමන්ට සහායට සිටින බව සිතමිනි. ඔවුන් බොහෝ දෙනෙකු අත වූයේ ට්‍රම්ප්ගේ මීළඟ ජනාධිපතිවරණ සිහිනය මල්ඵල ගැන්වීම වෙනුවෙන් වූ පුවරුය.
නමුත් ට්‍රම්ප්ගේ සහායකයින්ද දිනෙන් දින කොරෝනාවට ගොදුරු වනවිට, ඇමෙරිකාවේ ආරක්ෂිතම නිවස්නය වන ධවල මන්දිරයද කොරෝනාවට බිලිවන විට බොහෝ ඇමෙරිකානුවන්ට විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු ආරම්භ කිරීමට මානසිකත්වයක් ඇතිවේද යන්න සැක සහිතය.
ඉන් නොනැවතී සමාජ දුරස්ථකරණය හෝ සෞඛ්යාරක්ෂිත පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ජනතාවට උදාහරණයක් නොදක්වන පරිසරයක් ඊයේ (08දා) දිනයේදීද ධවල මන්දිරය තුළ දැකිය හැකි විය.
ඒ දෙවැනි ලෝක සංග්‍රාමයේ යුද විරුවන් පිරිසක් සහ නීති සම්පාදකයන් පිරිසක් ධවල මන්දිරයට පැමිණි විටය. එහිදී මුඛ ආවරණ දැකිය නොහැකි වූ අතර, ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය පවා මුඛ ආවරණ පැළඳ නොසිටීමට හේතු විමසන විට ට්‍රම්ප් එක් නිලධාරියෙකු දෙස ඇඟිල්ල යොමු කළේය. ඔහු මුඛ ආවරණයක් පැළඳ සිටි අතර, ඒ ධවල මන්දිර ඡායාරූප ශිල්පියෙකි. මෙවැනි වගකීමෙන් තොර පාලන තන්ත්රයක් තුළ කොවිඩ්-19 වෛරසය හමුවේ ඇමෙරිකාවට ගොඩඒමට දැඩි ප්රයත්නයක් දැරීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.