එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 දී ජනාධිපති ධුරය සඳහා තරග කරන බවට ඉඟි කරමින්, ජනාධිපති ජෝ බයිඩන් වෙත පහර දුන්නේ 2020 මැතිවරණයෙන් ඔහුගේ පරාජය ප්‍රතික්ෂේප කරමිනි.
හිටපු ජනාධිපතිවරයා මීට සති හයකට පමණ පෙර ධවල මන්දිරයෙන් ඉවත්වීමෙන් පසු ප්‍රථම වතාවට අවධානයට ලක්වූ ප්‍රසිද්ධ දේශනයකදී ඔහු මෙම අදහස් පළ කළේය .ඒ 74 හැවිරිදි ට්‍රම්ප්, එක්සත් ජනපදයේ ඕර්ලන්ඩෝ හි පැවති කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරී සමුළුව අමතමිනි.
"ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා ඔවුන්ට ධවල මන්දිරය අහිමි වූ බව" ට්‍රම්ප් ඩිමොක්රටිකයන් ගැන පැවසුවේ, මැතිවරණ වංචා හේතුවෙන් ඔහුට දෙවැනි වර අවස්ථාව අහිමි වූ බවට යළිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.
"ඔබගේ උදව්වෙන් අපි බලය ආපසු ගන්නවා. අපි සෙනෙට් සභාව ජය ගන්නවා. එවිට රිපබ්ලිකන් ජනාධිපතිවරයෙක් ධවල මන්දිරයට ජයග්‍රාහී ලෙස ආපසු පැමිණෙනු ඇති. ඒ කවුදැයි මම කල්පනා කරනවා." ට්‍රම්ප් මෙම අදහස පළ කළේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය.
"නමුත් කවුද දන්නේ, කවුද දන්නේ?" ඔහු යළිත් වේගයෙන් කියාගෙන ගියේ, "මම තුන්වැනි වතාවට ඔවුන්ට පහර දීමට පවා තීරණය කළ හැකියි, හරිද?" යනුවෙනි.
"අප දන්නා පරිදි ඇමරිකාවේ පැවැත්ම සඳහා අපි අරගලයක යෙදී සිටිනවා" ට්‍රම්ප් පැවසීය. "මෙය දරුණු, භයානක, වේදනාකාරී අරගලයක්."
මීට වසර හතරකට පෙර තමා ජයග්‍රහණය කරා මෙහෙයවූ ඇදහිය නොහැකි ජනතාවාදී ව්‍යාපාරය ආරම්භ වී ඇති බවත්, අවසානයේදී ජයග්‍රහණය කරනු ඇති බවත් ඔහු පැවසීය.
නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සඳහා තම සහයෝගය ලබාගත හැකි බවට පැතිර යන කටකතා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.
"මම නව පක්ෂයක් ආරම්භ කරන්නේ නැහැ" ට්‍රම්ප් පැවසීය. "අපට රිපබ්ලිකන් පක්ෂය තිබෙනවා. එය වෙන කවරදාටත් වඩා එක්සත් වී ශක්තිමත් වනු ඇති."
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඡන්දය දුන් රිපබ්ලිකන්වරු දසදෙනා සහ සෙනෙට් සභාවේදී වරදකරු කිරීමට ඡන්දය දුන් රිපබ්ලිකන්වරු හත්දෙනා නම් කරමින් ට්‍රම්ප් කියා සිටියේ තමාට ඉදිරි මැතිවරණවලදී ඔවුන් නෙරපා හැරීමට උදව් කිරීමට ඔහු උත්සාහ කරන බවය. "ඔවුන් සියල්ලන්ම ඉවත් කරන්න" ට්‍රම්ප් කියා සිටියේය.
ප්රජාතන්ත්රවාදය මහා ඉහළින් කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන සැබෑ තත්ත්වය මෙය වන අතර, දෙවරක් පමණක් ජනාධිපති ධුරයට තරග කළ හැකි වටපිටාවක, ට්‍රම්ප් තෙවැනි වටයක් ගැනද කතා කරමින් සිටියි. ලෝකයේ ප්‍රශ්නවලට අතපෙවීමට පෙර දැන්වත්, ඇමෙරිකාවට රට තුළම උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.