චීනයේ සීනොවැක් බයෝටෙක් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත (කොරෝනාවැක්) වයස අවුරුදු 6ට වැඩි ළමයින් සඳහා භාවිතයට චිලී සෞඛ්‍ය නියාමකයා විසින් අද (06දා) අනුමත කර තිබුණේ, ඒ තුළින් රටේ වේගවත් එන්නත් කිරීමේ වැඩසටහනට වැඩි පිරිසක් ඇතුළත් කරගත හැකි බව පවසමිනි.
දකුණු ඇමරිකානු රාජ්‍යය දැනටමත් අවුරුදු 12ට වැඩි ළමයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත භාවිත කිරීම අනුමත කර ඇති අතර, 654,053දෙනෙකුට මැයි මාසයේ සිට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලැබේ.
කෙසේ වෙතත්, සීනොවැක් හි කොරෝනාවැක් එන්නත එරට එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කොඳු නාරටිය වී ඇති අතර, මේ දක්වා රටේ මිලියන 19ක වැසියන්ගෙන් මිලියන 13කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම එන්නත් කර ඇත. එහිදී කොරෝනාවැක් මාත්‍රාවන් මිලියන 19.49ක් මුළුමනින්ම නිකුත් කර ඇත.
"මෙය පාසල් යන වයසේ පසුවන දරුවන්ට සහ පෙර එන්නත් කිරීමේ සැලැස්මේ ඇතුළත් නොවූ අයට ඉතාමත් හොඳ ආරංචියක්" යැයි සෞඛ්‍ය ඇමති එන්රික් පැරිස් පැවසීය.
චිලියේ මහජන සෞඛ්‍ය ආයතනය විසින් කැඳවන ලද ඇගයීම් කමිටුවේ ප්‍රවීණයන් පස් දෙනෙකු වයස අවුරුදු 6ට වැඩි ළමයින්ට එන්නත් ලබාදීමට පක්ෂව ඡන්දය දුන් අතර, 12ට වැඩි අයට පමණක් එය නිකුත් කිරීමට පක්ෂව දෙදෙනෙක් ඡන්දය දුන් අතර, එය නිකුත් කිරීමට විරුද්ධව එක් අයෙක් ඡන්දය දී තිබුණි.
කොරෝනාවැක් එන්නත මේ වනවිටත් ඉන්දුනීසියාවේ සහ චීනයේ ළමයින් සඳහා භාවිතයට හදිසි අනුමැතියක්ද ලබාදී ඇත.
චිලී රාජ්‍යයේ මෑත සති කිහිපය තුළ සැලකිය යුතු ලෙස ආසාදන පහත වැටී ඇති අතර, සඳුදා වාර්තා වූයේ නව ආසාදිතයන් 435ක් පමණි. ඒ සමග තහවුරු වී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 1.6ක් සහ මරණ 37,108ක් චිලියෙන් වාර්තා වී තිබේ.