දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 4ක සීමාවක් ඉක්මවා ගියද ගෝලීය වශයෙන් මේ වනවිට කොවිඩ්-19 උණුසුම්ම ස්ථානය ඉන්දියාව පමණක් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහි ආසන්නතම අවස්ථාව ලෙස වසංගතයේ පළමු වැනි රැලිවලදී වඩාත් ප්රශස්ත ලෙස කොවිඩ්-19 පාලනය කළ තුර්කිය බ්‍රහස්පතින්දා සිට ජාතික වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයකට ගියේ, මේ වනවිට යුරෝපයේ ඉහළම ආසාදන අනුපාතය වාර්තා කරන රට ලෙසිනි.
වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා දැඩි වෙහෙසක නිරත ඉරානය මේ දක්වා වාර්තා වී ඇති ඉහළම දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව පසුගියදා වාර්තා කළ අතර, ඉරාන ජනාධිපති හසන් රොයුහානි පවසා ඇත්තේ රට සිව්වැනි ආසාදන රැල්ලකින් බැටකන බවය.
දකුණු ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින පින්තූරයද තවමත් සුබවාදී එකක් නොවෙයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, බ්‍රසීලයේ මිලියන 14.5කට වඩා වැඩි කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරන විට, එරට 400,000කට ආසන්න සංඛ්‍යාවක් වෛරසය නිසා මියගොස් ඇත.
මේ ආකාරයෙන් වෛරසයේ උණුසුම් ස්ථාන මතු වනවිට සමහර රටවල් උදව් ලබාදීමට පෙළඹී ඇත. උදාහරණයක් ලෙස මෑත දිනවල ඉන්දියාවට ඔක්සිජන් සාන්ද්‍රක, වෙන්ටිලේටර්ස් සහ වෙනත් වෛද්‍ය සැපයුම් යවනු දැකිය හැකි විය. නමුත් මීට වසරකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් විසින් වෛරසය ජයගැනීමට ගෝලීය ප්‍රතිචාරයක් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ බොහෝ රටවල් සහ සෙසු ගෝලීය සෞඛ්‍ය ආයතනවල ප්‍රතිචාරය නොපැහැදිලි විය.
මෙවැනි පසුබිමක සමහර බටහිර රටවල් ඉදිරි සති කිහිපය තුළ වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමට අපේක්ෂා කළත්, වෛරසයේ ලෝක ව්‍යාප්ත චිත්‍රය දැන් දරුණු තත්ත්වයක පවතී. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව නවවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති අත,ර මරණ සංඛ්‍යාව හයවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සඳුදා පැවසීය.
මේ අවස්ථාවේදී අඩු ආදායම්ලාභී රටවල් සඳහා වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත බෙදාගැනීමේ මුලපිරීම වන COVAX වැඩසටහන, තවමත් වසංගතය පාලනය කරගත හැකි එන්නත් මාත්‍රාවන් ලබා ගැනීමට ඇති හොඳම අවස්ථාව බව නොරහසකි.
නමුත් එය COVAX මුලපිරුමේ මූලික මෙවලම වූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව නිපදවීමට ඉන්දියාවේ සේරම් ආයතනය දැඩි අර්බුදයකට ලක්ව ඇත්තේ ඉන්දියාවේ ධාරිතාව මත එය දැඩි ලෙස රඳා පවතින බැවිනි.
ඒ අතරම, එන්නත් තොග ගබඩා කර තබාගැනීම සම්බන්ධයෙන් බටහිර රටවල් විවේචනයට ලක්ව ඇති අතර, එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය ඇතුළු සමහරු ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් මාත්‍රා දැනටමත් ඇණවුම් කර ඇත.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් බදාදා කියා සිටියේ වයස අවුරුදු 40 සීමාවේ නිරෝගී පුද්ගලයින්ට එන්නත් ලබාදීමට එක්සත් රාජධානිය පියවර ගෙන ඇති බවය. ඔවුන් දැනටමත් සිය වයස්ගත හා අවදානමට ලක්විය හැකි නිවැසියන්ට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලබාදී ඇති නමුත් ඉන්දියාවට යැවීමට තරම් අමතර එන්නත් ඔවුන් සතුව නොමැති බවද කියා සිටියේය. ඒ වෙනුවට එක්සත් රාජධානියේ රජය පවසා ඇත්තේ පසුකාලීනව අතිරික්ත මාත්‍රා බෙදා ගන්නා බවය. එනම් තමන් රැකී පසුව අනෙකා රැකීමට දරන උත්සාහයකි. නමුත් මෙම වසංගතය ජයගැනීමට නම්, මුලින්ම වැඩි අවදානමක් පවතින රටවල තත්ත්වය නිහඬ කළ යුතු බවට වූ විශේෂඥ මත මේ කිසිදු රාජ්‍යයක් තවම ගණනකට ගෙන නොමැති බව හැඟේ.