සෞදි මාධ්‍යවේදී කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඇඟිල්ල දිගු කරමින් ඉදිරිපත් කෙරුණු එක්සත් ජනපදයේ බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට අරාබි ලෝකයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේටය ආදී රාජ්‍යයන් සෞදි අරාබිය වෙත සහාය පළ කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යංශය විසින් සෞදි අරාබියේ අධිකරණ තීන්දු කෙරෙහි විශ්වාසය හා සහයෝගය ප්‍රකාශ කළ අතර, එය විනිවිදපෙනෙන හා අපක්ෂපාතී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රාජධානියේ කැපවීම සනාථ කරන බවත්, මෙම නඩුවට සම්බන්ධ සියලු දෙනාට චෝදනා ගොනුකර ඇති බවත් පවසන ලදී. බහරේන් විදේශ අමාත්‍යංශය විසින් සෞදි අරාබියේ ස්වෛරීභාවයට හානි කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කරන ලදී. ප්රචණ්ඩත්වය සහ අන්තවාදය ප්‍රතික්ෂේප කිරීමේදී සෞදි අරාබිය කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව කුවේට් විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.
සිකුරාදා නිකුත් කරන ලද ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තා මගින් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් කුමරු විසින් 2018 දී කෂෝගි අල්ලා ගැනීම හෝ ඝාතනය කිරීම සඳහා වූ මෙහෙයුමක් අනුමත කළ බවට චෝදනා කරමින්, සල්මාන් කුමරුට හැර එරට ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුටම සම්බාධක පැනවීය.
ඇමෙරිකානු නව පරිපාලනය විසින් ගෙනෙන ලද මෙම චෝදනාව සෞදි අරාබි රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර, සාවද්‍ය තොරතුරු සහ නිගමන එහි අඩංගු බව අවධාරණය කළේය.